එස්.බී ගමන් ගත් රථයට බාධා කල පිරිසට වෙඩි තැබූ ආරක්ෂක නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා ගමන් ගත් රථයට බාධා කළ පිරිසකට වෙඩි තැබීම සිදු කළ මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගිනිගත්හේන පොලීසිය විසින් අදාල නිලධාරින් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.
ඊයේ රාත්‍රීයේ ගිනිගත්හේන පොලිස් වසමේ පොල්පිටිය ප්‍රදේශයේදී එස්.බී දිසානයක මන්ත්‍රීවරයා ගමන් ගත් රථයට බාධා කළ පිරිසකට මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිළධාරින් වෙඩි තැබීමක් සිදු කළේය.
එහිදී තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු කරවනැල්ල රෝහලේ සහ අනෙක් පුද්ගලයා ගිනිගත්හේන රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම වෙඩි තැබිමේ සිද්ධිය දේශපාලන සිදුවිමක් නොවන බව සිදු කළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
කොස්තාපල්වරුන් දෙදෙනා හඳුනාගැනිමේ පෙරෙට්ටුව සඳහා හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
649 Views
Comments