මධ්‍යම අධිවේගයේ වැඩ කඩිනම් කිරීමට ජනපති නියෝග

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විෂයභාර අමාත්‍යවරයාට නියම කරයි.වන්දි ගෙවීමේ ගැටළු නිසා කොළඹ සිට කරුණෑගල දක්වා කොටසේ ඉදිකිරීම් අඩාල වී තිබේ.
ඊට කඩිනමි විසඳුම් දී අධිවේගී මාර්ගය තනා නිම කරන්නැයි ජනාධිපතිතුමා අමාත්‍ය ජොන්ස්ටන් ප්රකනාන්දු මහතාට උපදෙස් දුන්නේය. පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමට අද (27) දෙවන දිනටත් කුරුණෑගල දිස්ත්රිවක්කයේ චාරිකා කරමින් මාවතගම, මහජන පොළ භූමියේ පැවති ජන හමුවේ දී ජනාධිපතිතුමා එසේ නියම කළේය.
“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීමට ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් අවශ්‍ය බව අපේක්ෂක කමල් පෙරේරා මහතා සංවිධාන කළ හමුවට ජනාධිපතිතුමා සමග එක් වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය.
නිදහස්ගම විද්‍යාදීප සහ දේවාපොළ කුමර යන විද්‍යාලවල ක්‍රීඩාපිටි ප්‍රතිසංස්කරණය කරන්නැයි, සිසුන් කළ ඉල්ලීම ඉටු කරන මෙන් ජනාධිපතිතුමා යුද හමුදාපතිවරයාට උපදෙස් දුන්නේය.
මාවතගම ජාතික පාසලට ගෘහස්ත බැඩ්මින්ටන් ක්‍රීඩාංගණයක් ඉදිකර දෙන බව ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ජනාධිපතිතුමා සමග පැවසීය. කහපත්වල ක්ෂේත්‍ර නිලධාරින්ට “සේවා පියස” ගොඩනැගිල්ලක් ඉදිකර දීමට ද තීරණය කෙරිණ.
විදුහල්පතිවරයා ඇතුළු සිසුන් පිරිසක් කළ ඉල්ලීමකට අනූව ශ්‍රීමත් ජෝන් කොතලාවල මධ්‍ය මහා විද්‍යාලය ජාතික පාසලක් බවට උසස්කරන බව දොඩංගස්ලන්ද මහජන පුස්තකාල ක්‍රීඩාංගණයට පැමිණි ජනාධිපතිතුමා පැවසීය.
එතැන් සිට දොඩංගස්ලන්ද රිදීගම සතිපොළ භූමියට යන මග දෙපස රැස්ව සිටි ජනතාව සමග ද ජනාධිපතිතුමා සුහද කථා බහක නිරත විය.
දොඩංගස්ලන්ද රෝහලේ පවතින අඩු පාඩු නිසා රෝගීන්ට කුරුණෑගලට යාමට සිදුව ඇතැයි රෝහල ඉදිරිපිට රැස්ව සිටි සේවක පිරිසක් ජනාධිපතිතුමා සමග කීහ. ඒ ගැන සොයා බලා විසඳුමක් දෙන ලෙස ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
අපේක්ෂක ආර්.ඩී. විමලදාස මහතා දොඩංගස්ලන්ද සතිපොළ භූමියේ සංවිධාන කළ ජනහමුවට ජනාධිපතිතුමා සමග අග්‍රාමාත්‍යවරයා ද එක් විය.
සුළු අපනයන බෝග මිල පහත වැටීම, මත්ද්‍රව්‍ය උවදුර, ප්‍රදේශයේ මාර්ග පද්ධතියේ අඩු පාඩු ඇතුළු ගැටලු රැසක් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරිණ. අපේක්ෂක සුමිත් රාජපක්ෂ මහතා අලව්ව ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ සංවිධාන කළ ජන හමුවට ද ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා සහභාගී විය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ කලාකරුවෝ පිරිසක් ද ඊට එක්ව සිටියහ.
අලව්ව නගරයේ දුම්රිය හරස් මාර්ගයට ඉහළින් ගුවන් පාලමක් ඉදිකිරීම ඇතුළු නගර සංවර්ධන සැලැස්ම කෙරෙහි ජනාධිපතිතුමාගේ අවධානය යොමු කෙරිණ. දඹදෙණිය රෝහලට අයත් ඉඩමේ පෞද්ගලික ගොඩනැගිල්ලක් ඉදිකිරීම සහ රෝහලේ අඩුපාඩු ගැන ජනතාව ජනාධිපතිතුමා දැනුවත් කළහ.
අපේක්ෂක ශාන්ත බණ්ඩාර මහතා දඹදෙණිය සංවර්ධන පදනම් භූමියේ සංවිධාන කර තිබූ ජන හමුවට ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සහභාගී වූහ. අපනයන ඇන හිටීමෙන් කුඩා කර්මාන්තකරුවන් මුහුණපා ඇති දුෂ්කරතා පිළිබඳව ජනාධිපතිතුමා සහ අගමැතිතුමා දැනුවත් කෙරිණ.
ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳව නිර්නාමිකව ජනාධිපති කාර්යාලයට තොරතුරු යොමු කරන ලෙස ජනාධිපතිතුමා රැස්ව සිටි පිරිස කළ ඉල්ලීමකට පිළිතුරු දෙමින් කීය.
අපේක්ෂක ටිකිරි බණ්ඩාර අධිකාරී මහතා පොල්ගහවෙල වීරඹුගෙදර ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ සංවිධාන කළ තිබූ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා රැස්ව සිටි ජනතාව සමග සුහද කථා බහක නිරත වූහ.
1188 Views
Comments