අධික උණුසුමට මුහුණදීමේදී මේ කරුණු හිතට ගන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
21

අධික උණුසුමට මුහුණදීමේදී මේ කරුණු හිතට ගන්න

අධික උණුසුමට මුහුණදීමේදී මේ කරුණු හිතට ගන්න

මේ දිනවල ඇත්තේ දරාගත නොහැකි තරමේ දැඩි රස්නයකි. අධික වියළි කාලගුණයත් සමඟ ඇතිවෙන අධික රස්නය නිසා කුඩා දරුවාගේ සිට වැඩිහිටි පුද්ගලයා දක්වාම සෑම කෙනෙකුටම සෞඛ්‍ය ගැටලු ඇති කරන්නේය. පරිසර උෂ්ණත්වය ඉහළ යාම අප රටට පමණක් නොව මුළු ලෝකයටම බලපා තිබේ. පරිසර උෂ්ණත්වය වැඩිවීම අපට නැවැත්වීමට අපහසුයි. එහෙත් පරිසර උෂ්ණත්වය ඉහළ යාමත් සමඟම අපට මුහුණදීමට සිදුවෙන විවිධාකාර වූ සෞඛ්‍ය ගැටලුවලින් මිදීමට හැකියාවක් නැතත් ඒවා අවම කර ගැනීමට පියවර ගත හැකියි.

 

මේ දිනවල පවතින අධික උණුසුමට මුහුණ දීමට නම් පාසල් දරුවන්, එළිමහනේ රැකියා කරන අය, වැඩිහිටියන් සහ දිගුකාලීන රෝගවලින් පෙළෙන අය ඇතුළු සෑම කෙනෙක්ම මේ කරුණු සිතට ගත යුතුය. නිතර නිතර ජලය පානය කරන්න. වෛද්‍යවරුන් පවසන ආකාරයට විනාඩි 15කට 20කට වරක්වත් වතුර උගුරු දහයක් පමණ පානය කළ යුතුයි. මේ වේලාව දරුවාට මඟහැරෙයි නම් හෝ අමතක වෙයි නම් සෑම කාලපරිච්ඡේදයක් අවසානයේ ලබාදෙන සංඥාවේ දී වතුර බොන්න යැයි දරුවාට පැවසීමට ගුරුවරුන්ට හැකියි. එවිට දරුවාට වතුර පානය කිරීම මග නොහැරේ. තවද සීනි අධික බීම වර්ග පානය කිරීම මේ දිනවල සිරුරට බෙහෙවින් අහිතකර වේ. තවද එළිමහනේ සිටින විට හිස වැසෙන සේ තොප්පි පැලඳීම ද කළ යුතුයි. තවද එළිමහනේ යන විට කුඩයක් භාවිතා කළ යුතු අතර හැකි පමණ එළිමහනේ ගැවසීම ද අවම කර ගැනීමට හැකියාවක් පවතී නම් මේ දිනවල පවතින අධික උණුසුමට ඔබට මුහුණදීමට හැකි වේවි. ගමන් බිමන් යාමේදී සහ එළිමහනට යාමේදී ළා පැහැති ඇඳුම් ඇඳිය යුතු අතර අධික රස්නය ඇතිවිට මුහුණේ සහ අත්වල වතුර ගා ගන්නට ද අමතක නොකළ යුතුයි. දවසේ වඩාත්ම උෂ්ණත්වය වැඩිවන කාලය වශයෙන් හඳුනාගෙන ඇත්තේ පෙරවරු 11. 00 ත් පස්වරු 3. 30 ත් අතර කාලයයි. එළිමහනේ අදික දහඩිය දමන ව්‍යායාම වල සහ කය වෙහෙසා කරන ක්‍රීඩා වල මෙම කාලපරිච්ඡේදයෙ යෙදීම හැකිතාක් දුරට අඩුකර ගත යුතුයි. තවද හැකියාවක් ඇත්නම් කඩදාසිවලින් සැදූ අවානක් භාවිතා කරන්න. තවද ශරීරය වියළීම වළක්වා සිසිල් කර ගැනීමට පාසලේ පංති මට්ටමින් ජල බඳුන් තැබීම සහ ශරීරයේ විවෘතව ඇති ප්‍රදේශ තෙත මාත්තු කර ගැනීම තුළින් ද අධික උණුසුමට මුහුණ දිය හැකියි. පන්ති කාමර, නිවසේ නිදන කාමර ඇතුළු සියලුම තැන්වලට හොඳින් වාතාශ්‍රය ලැබෙන්නට සැලැස්විය යුතු අතර ඒ සඳහා දොර ජනෙල් නිතරම විවෘතව තබන්න. විදුලි පංකා භාවිතා කරනවානම් පිරිසිදු වාතාශ්‍රය ලැබීම සඳහා ජනෙල් අනිවාර්යෙන්ම විවෘතව තැබිය යුතුයි. ඔබ කිසියම් රෝගී තත්ත්වයකින් එනම් උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව යනාදියෙන් පෙළෙන්නේ නම් එම රෝගී තත්ත්වය සුව වනතුරු දරුවා පාසලට නොයවා සිටීමටද වගබලා ගන්න.

 

 

by Sachini Sooriyaarachchi 

Photo Source: Internet

 
views

856 Views

Comments

arrow-up