ශක්තිමත් යුග දිවියක් උදෙසා කැප කිරීම අවශ්‍යමද?

නිවසක් ඉදිකිරීමේදී මෙන්ම විවාහයක් සඳහා ද ශක්තිමත් අත්තිවාරමක් අත්‍යවශ්‍ය වේ. එහිදී කැපකිරීම යනු විවාහයක අත්තිවාරම ශක්තිමත් වීමට අවශ්‍ය වන මූලිකම සාධකයකි. කැප කිරීමකින් තොරව ගොඩනැගෙන සොදුරු නිවහන ඉක්මනින්ම කඩා වැටීමට පුළුවනි. එනිසාවෙන් විවාහ දිවියට ශක්තිමත් අත්තිවාරමක් ලබාගැනීමට අනිකා වෙනුවෙන් කැපවීම කොපමණ තිබිය යුතුද යන්න ඔබව දැනුවත් කිරීම මෙම ලිපියෙහි අරමුණයි.
කැපවීම යනු අපහසුව පහසුවක් ලෙස විඳ දරා ගැනීමයි. පුද්ගලයන් වශයෙන් අපට අපගේ ජීවිතයේ දී බොහෝ අපහසු දුෂ්කර කාල සීමාවන් ගත කිරීමට සිදුවන අතර එම දුෂ්කරතා මධ්‍යයේ අපට පලා යාමට නොහැක. එවැනි අසීරු කාල වලදී වුවද උපේක්ෂාවෙන් යුතුව ඉවසීමට හැකි නම් ඔබට සාර්ථකව මේ ජීවිතය ගත කිරීමට හැකි වේ. ඔබගේ සැමියා හෝ බිරිඳ වෙනුවෙන් හෝ පවුලේ අය වෙනුවෙන් කිසියම් කැප කිරීමක් කර සතුටුවෙන්න ඔබට හැකිනම් එය වඩාත් අගය කළ යුත්තකි. ඔබ ඔබගේ සැමියා හෝ බිරිඳ වෙනුවෙන් කිසියම් කැපකිරීමක් කළේ නම් එමගින් එකිනෙකා අතර ගෞරවය අන් කවරදාටත් වඩා වැඩි වේවි. ලෞකික ජීවිතය ගෙවන පුද්ගලයින් වශයෙන් විවාහ ජීවිතයේදී අපට බොහෝ කැප කිරීම් කිරීමට සිදුවන අතර මෙම කැපකිරීම් තුලින් සැමවිටම අපගේ ජීවිත පොහොසත් වේ. සැමවිටම තමා පමණක් නිවැරදි බව නොසිතා තමාගේ තිබෙන අඩුපාඩු මුලින්ම අවබෝධ කර ගැනීම හරහා එම අඩුපාඩු අවම කර ගැනීමෙන් සිතනවාටත් වඩා අනෙකා සමග බැදෙන්නට ඔබට හැකියාවක් ලැබේවි. දරුවන් වෙනුවෙන් සැමියා සහ බිරිඳ යන දෙදෙනාම කැපවිය යුතුයි.
වර්තමාන සමාජය තුළ බොහෝ විට කාන්තාවක් තම දරුවන් වෙනුවෙන් තවමත් කැප වන අතර පිරිමි පාර්ශවය විසින් රැකියාවෙහි පමණක් නිරත වී තම බිරිඳගේ කැපවීම පිළිබඳව කිසිදු ආකාරය සැලකිල්ලක් නොදක්වයි. එවැනි බැදීමක් තාවකාලික වන අතර තම ජීවයෙන් උපත ලද දරුවන් වෙනුවෙන් දෙදෙනාම කැපවිය යුතුම වන්නේය. බිරිඳ රෝගී වූ අවස්ථාවකදී ඇය වෙනුවෙන් කැපවී දරුවන් වෙනුවෙන් කැපවී එදිනෙදා වැඩ කටයුතු වලට සහය වන්නට කිසියම් සැමියෙකුට හැකියාවක් පවතී නම් එය වඩාත් අගනේය. එලෙසින්ම සැමියා දුෂ්කර අවස්ථාවක් ගෙවන්නේ නම් බිරිඳගේ යුතුකම ද ඔහු වෙනුවෙන් කැපවී ඔහුට ශක්තියක් වීමයි.
මෙලෙස එකිනෙකා අතර කැපකිරීමක් පවත්වාගෙන යාමෙන් සාර්ථක විවාහ ජීවිතයකට අඩිතාලම සකස් කෙරේ. විවාහයෙන් පසුව මාසයකින් අවුරුද්දකින් නිමවන සබඳතාවයක් වෙනුවට ආදරය, විශ්වාසය, කැපකිරීම, දරාගැනීම, සතුට වැනි ගුණාංගයන්ගෙන් පරිපූර්ණ විවාහ දිවියක් ගෙවන්නට හැකි නම් එය කොතරම් අපූරුද කොතරම් වටිනවාද. ලෝකයේ සියළුම පුද්ගලයන් එක සමාන නොවන අතර තමාගේ සැමියා හෝ බිරිඳ තමාට සර්ව සම්පූර්ණයෙන්ම ගැළපෙන බව සිතීම වරදකි. කළ යුත්තේ පවතින අඩුපාඩුකම් ගලපා ගනිමින් එකිනෙකා වෙනුවෙන් කැපවෙමින් සතුටින් ජීවත් වීමයි. ඒ හරහා සැමියා සහ බිරිද ද වඩාත් ආදරණීය වන අතර ඔවුන් ඇසුරේ හැදෙන වැඩෙන දරුවන්ද යහපත් ගුණාංගයන් ගෙන් පරිපූර්ණ වී කිසියම් දවසක සාර්ථක සහ ගුණ ධර්ම වලින් පරිපූර්ණ පුද්ගලයකු හැටියට සමාජයට ඉදිරිපත් වනු නොඅනුමානයි.
by Sachini Sooriyaarachchi
690 Views
Comments