ඔබේ අධිෂ්ඨානයන් සපුරා ගන්නේ කොහොමද?
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
25

ඔබේ අධිෂ්ඨානයන් සපුරා ගන්නේ කොහොමද?

ඔබේ අධිෂ්ඨානයන් සපුරා ගන්නේ කොහොමද?

අපි හැමෝම ජීවිතේ විවිධ අරමුණු ලගාකර ගැනීම සඳහා අධිෂ්ඨාන කරගෙන සිටිනවා. නමුත් බොහෝ දෙනෙක් යම් අරමුණක් ලඟාකර ගැනීමට අවශ්‍ය මුල් අවස්ථාවේදී ඒ පිළිබඳ අධිෂ්ඨානයෙන් කටයුතු කර ටික කාලයක් යන විට ඒවා අමතක වෙනවා. මේ නිසා අරමුණු සාර්ථක කරගැනීම සඳහා අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කිරීමට අවශ්‍ය වෙන කීපයක් පිළිබඳව දැනුවත් වෙමු.

අධිශ්ඨානයන් පමණට වඩා තබාගන්න එපා

අධිෂ්ඨානයෙන් යුතුව ළඟාවිය හැකි ඉලක්ක එකක් හෝ දෙකක් ලබා ගැනීම වසරකට හොඳටම ප්‍රමාණවත්. ඇලඩින්ගේ පුදුම පහනෙන් ඉල්ලීම් රාශියක් ඉල්ලන්නක් වගේ අරමුණු මහ ගොඩක් තබා ගැනීම නම් අවශ්‍ය වෙන්නේ නැහැ.

ආරම්භය අපහසු යැයි කණගාටු නොවන්න

අධිෂ්ඨානයෙන් යුතුව ඉලක්ක කරා යන ගමන ආරම්භයේදී තරමක් අපහසු එකක් වේවි. එහෙත් ආරම්භකර එම මාවතට පිවිසෙද්දී එය කරගෙන යෑම අපහසු නැහැ. උදාහරණයක් විදිහට කෙනෙකුගේ රුධිර පරීක්ෂණයකදී ඔහුගේ රුධිර පීඩනය වැඩි නම් මේක අඩු කර ගන්නේ කොහොමද කියලා හිතුවට ඒක අඩු කරගන්න එක හිතෙන හිතන තරම් ලේසි නැහැ. ඒ වගේම උපාධියක් කරමින් සිටියදී තවත් උපාධියක් හෝ ඩිප්ලෝමාවක් කරන්න හිතෙනවා නම් මං මේක කොහොමද මේ දෙක සමබරව කරගෙන යන්නේ දෙකෙන් එකක් වත් හරියට කරගන්න බැරිවෙයිද මේ වගේ දේවල් හිතමින් වැඩි දෙනෙක් කාලය ගත කරනවා. මුලදී යමක් කරන්නට හිතද්දී ඕනෑම කෙනෙකුට දහසකුත් එකක් ඍණාත්මක සිතිවිලි පටන් ගන්න පුළුවන්. මේ දේවල් එන්නේ අපි කරන දේ නවත්වන්න. වලක්වන්න. නමුත් ඒ දේවල් වලින් අන්ධ වෙලා පසුබාන්න නම් එපා. කොහොමහරි අඩියක්වත් ඉස්සරහට තියන්න. වසර මැදදී වගේ නැවත අපේ අරමුණු කෙමෙන් කෙමෙන් ඈත් වන්න පුළුවන්. අතපසු වෙන්න අමතක වෙන්න පුළුවන්. තමා තමාවම ධෛර්යමත් කරගෙන ඉදිරියට යා යුතුයි. අරමුණු කරා යන අවසාන මොහොතේදී පසුබාන වෙන අවස්තා තියෙන්න පුළුවන්. කිසි විටෙක සෘණාත්මක සිතිවිලි වලට අපේ ජීවිත ඍණාත්මක වෙන්න ඉඩ දෙන්න එපා.

ඉලක්ක වසරේ හැමදාටම තබාගන්න

අවුරුද්දකට දින 365 ක් තියෙනවා. මේ හැම දවසක්ම ගණනය වෙනවා. එක දවසක් හෝ මග හරින්න බැහැ. දිනකට තිබෙන පැය 24න් පැය කිහිපයක් හෝ ඉලක්කය සපුරා ගැනීමේ අධිෂ්ඨානය වෙනුවෙන් ගත කළ යුතුයි. ඔබේ අරමුණ කාර්යාල මේසයේ නිදන කාමරයේ අලවා තබන්නත් පුළුවන්. එය නිතර ඇස ගැටෙන විට ඔබට යම් ජවයක් ඇති වේවි.

සරල සැහැල්ලු අධිෂ්ඨානයක් වීම

වසර තුළදී අධිෂ්ඨානයෙන් යුතුව සපුරාලීමට හිතෙන ඉලක්කය සරල සැහැල්ලු එකක් විය යුතුයි. කැමැත්තෙන් කළ හැකි දෙයක් විය යුතුයි. දුම් බොන එක නතර කිරීම බර අඩුකරගැනීම විභාගයක් සඳහා මුහුණ දීම රියදුරු බලපත්‍රය ලබාගැනීම ඉංග්‍රීසි කතාව පුහුණු වීම වැනි සරල සැහැල්ලු ඉලක්කයක් වෙත ඔබ සැම විටම යා යුතුයි. විවාහ උත්සවයක් තියලා නිවසකුත් හදලා දරුවනුත් හදලා මේ වගේ ජීවිතේ වැදගත්ම කිහිපයක් එකම අවුරුද්දකදී කරමින් නිම කරන්න සිතන්න එපා. එසේ අහස් මාලිගා තනමින් පීඩනයට ආතතියට පත් වීම නම් සුදුසු නැහැ.

සටහන් තබා ගන්න

දිනපතා හෝ දෛනික සටහන් පොතක් පවත්වාගෙන යාම ඉතාම වැදගත් වෙනවා. එහිදී ඔබ ඉලක්ක සපුරාලීමේ යම් යම් පියවර සටහන් කළ හැකි. මාස කීපයකට පසු ඒ දෙස බැලීමෙන් සතුටට පත්වෙන්න පුළුවන්. ඉතිරි මාස කීපයකදී මගේ ඉතිරි කොටස සම්පූර්ණ කළ හැකි බව ඔබටම පසක් වේවි. තමන් කළ දේ ලියා තැබීමෙන් තෘප්තිමත් භාවයට පත්විය හැකියි.

තමාම සැමරුම් පැවැත්වීම

යම් ඉලක්ක ජය ගනිද්දී එහි සතුට සැමරීම තමාටම කළ හැකි. උපාධිය සම්පූර්ණ කර ගැනීම යනාදී දේ මිතුරන් සමඟ පවුලේ උදවිය සමඟ සාදයක් තබමින් විනෝද ගමන් යමින් අවන්හලකට ගොස් කෑම ගනිමින් තමාටම තමන්ගේ ඉලක්ක සපුරාලිම සැමරිය හැකි. එය ජීවිතයට අවශ්‍ය දෙයක්. තමාගේ මහන්සි කැපවීම පිළිබඳ සතුටු වන්න තෘප්තිමත් වන්න එය ඉදිරි ඉලක්ක කරා යන ගමනට සතුටුදායක මාවතක් වේවි.

 

 

 

 

 

 

 

by Dilki Shamani

views

488 Views

Comments

arrow-up