ඔබගේ ආදරය සුරක්ෂිතද

විවාහ වූ දෙදෙනකුට ගමන් කිරීමට සිදුවන්නේ රෝසමල් ඇතිරූ මාවතක නම් නොවෙයි. එය ආත්ම පරිත්‍යාගය, ඉවසීම, අවබෝධය, සමාව දීම ආදී බොහෝ විෂයයන් පිළිබඳ පන්නරය ලබා දෙන්නකි. එම සියලු විෂයයන් ප්‍රගුණ කිරීම හරහා ලොව ඇති ප්‍රීතිමත්ම යුවළ බවට පත්වීමට හැකියාවක් ලැබෙනු ඇත. විවාහයෙන් පසූව බිරිඳ විසින් සැමියා යහපත් පුද්ගලයකු බවට පත් කරනු ඇති බවට විශ්වාසයක් මතයක් සමාජයේ ගොඩනැගී පවතී.
එහෙත් උපන්දා සිට හැදූ වැඩූ දෙමාපියන්ට ඉගැන්වූ ගුරුවරුන්ට ගොඩනැගීමට නොහැකි වූ යහපත් පෞර්ෂත්වය සැමියාගේම වයසේ හෝ බොහෝ විට ඔහුට වඩා බාල බිරිඳකට කළ හැකිද. එසේ කළ හැකි බිරින්දෑවරුන් අද සමාජයේ සිටින්නේ කලාතුරකිනි. විවාහය පිරිමියෙක් සහ කාන්තාවක් මෙතෙක් ගතකළ කෙළිලොල් දිවියෙන් මුදවා පරිණත බවට පත් කරයි. තනි පුද්ගලයෙකු ලෙස ජීවත් වූ ඔහුට සහ ඇයට තවදුරටත් තනි පුද්ගලයකු ලෙස විවාහයෙන් පසුව සිටිය නොහැක. කාර්යයන් රැසක් පැවරෙන භූමිකා රැසක් නිරූපණය කිරීමට ඔහුට සහ ඇයට සිදු වෙයි. නව යුවලකට විවාහය ආගන්තුක අත්දැකීමකි. විවාහය සිදු වූ මුල් කාලයේදී දෙදෙනා අතින් යම් යම් වැරදි සිදුවීම අරුමයක් නොවේ. එහෙත් එම වැරදි සීමාවකින් තොරව කාලයක් සිදුවේ නම් එය හොඳ දෙයක් නොවේ. කිසියම් කෙනෙකු වෙනුවෙන් හදවතේ උපදින ආදරය ද මුදුන් මුලක් බඳුය. ගසකට ඇත්තේ එක මුදුන් මුලකි. හදවතේ උපන් ආදරයද හතර පස් දෙනෙකුට බෙදී යන්නක් නොවේ. සැමියෙකු එක් බිරිඳක් පතන ආදරය සෑම විටකම සුරක්ෂිතයි. එපමණක්ම නොව සෞඛ්‍ය අතින්ද වඩාත් ආරක්ෂිතයි. එවිට එච්අයිවී, ගොනෝරියා, සිෆිලිස් වැනි රෝග විපාකයන්ට මුහුණ පෑමටද තරුණ තරුණියන්ට සිදු නොවේ. එක් බිරිඳකගෙන් සහ එක් සැමියෙකුගේ ආදරයෙන් තෘප්තිමත් වන විට ගොඩනැගෙන විශ්වාසය සසර පුරා එක්ව යන ගමනකට මුල පිරීමකි. මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතු වන්නේ හැඟීම් ආදරයකට මුල පිරුවද ආදරය යනු හැඟීමක් පමණක් නොවන බවයි. ඇත්තෙන්ම එය එකිනෙකා වෙනුවෙන් සිදුකරන කැප කිරීමකි. හැඟීම් වරින් වර වෙනස් වුවද ආදරය වරින්වර වෙනස් විය යුතු දෙයක් නොවෙයි. ආදරය හැඟීමක් පමණක් බව සිතුවහොත් එය අවසානයේ දී කෙළවර වන්නේ දික්කසාදයෙන් බව සිහියේ තබාගන්න. එක් පවුලකින් තවත් පවුලක් වෙනස් වන අතර එක් එක් පවුල් සංස්ථා සොඳුරු වන්නේ ද එම නිසාවෙනි. වසර ගණනාවක් පෙරුම් පුරමින් තමාගේ ආදරය විවාහයකින් කෙළවර කරගන්නට සමත් වූයේ නම් ඉන් පසුවත් එම බැඳීම ඉදිරියටත් පවත්වා ගන්නට දෙදෙනාම උත්සහ ගත යුතුය.
සැමියා හෝ බිරිඳ යනු සියල්ල කප්රුකක් මෙන් ලබා දෙන කෙනෙක් යැයි සිතා විවාහ වුවහොත් කිසිම දිනක ඔබට සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමට හැකියාවක් නොලැබෙනු ඇත. විවාහයෙන් පසුව යුවලක් සතුටින් සිටිනවා දැකීම ඔවුන්ගේ දෙමාපියන්ගේද සිත් තුළ පවතින අහිංසක බලාපොරොත්තුවකි. ඔබ විවාහයෙන් පසුව එකිනෙකා වෙනුවෙන් සිදු කරන කැපකිරීම් සෑම විටම ඔබගේ දරුවන්ගේ ඇසට කනට පෙනෙනු ඇසෙනු ඇත. මතුයම් දවසක ඔවුන්ද ආදර්ශයට ගන්නේ ඔබගේ අද දකින ක්‍රියා කලාපයයි. ඔබ වැරදි ආදර්ශයක් ඔවුන් ඉදිරියේ ගෙනහැර දැක්වීමෙන් සිදුවන්නේ වක්‍රාකාරයෙන් හෝ ඔවුන්ගේ ජීවිත අසාර්ථක කිරීමට දායක වීමකි. එමනිසාවෙන් ඔබගේ ආදරය සුරක්ෂිතව පවත්වා ගැනීමට නිරන්තරයෙන්ම උත්සාහ ගත යුතුය. සාර්ථක පවුල් ජීවිතයක පදනම වන්නේද දෙදෙනෙකු අතර ඇතිවන සුරක්ෂිත ආදරයක් බව සිතේ තබාගන්න.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
624 Views
Comments