ඖෂධ වල ගුණ අඩු වැඩි කරන අපේ ආහාර පුරුදු

වර්තමානයේ දී බහුතරයක් පිරිස කුමන හෝ රෝගයකට ඖෂධ ලබා ගනියි. වර්තමානයේ දී කුඩා දරුවන් පවා දියවැඩියාවට ගොදුරු වීම ඉතාමත් ඛේදජනක තත්ත්වයක්. කිසියම් රෝගයකට ගොදුරු වීමෙන් මුළු ජීවිත කාලයම යම් ඖෂධයක් හෝ ඖෂධ කිහිපයක් ගැනීමට බොහෝදෙනාට සිදුවේ. එහෙත් මෙසේ නියම කරන ඖෂධ වල දැනුවත්ව හෝ නොදැනුවත්ව ගුණාත්මක බව අඩු වන අවස්ථා තිබෙන බව ඔබ දන්නවාද. ඒ පිළිබඳව දැනුවත් කිරීම මෙම ලිපියෙහි අරමුණ වේ.
සමහර ඖෂධ වර්ග ගැනීමේදී එක් කාණ්ඩයක ඖෂධයක් තවත් වෙනස් ආකාරයෙන් ඖෂධ කාණ්ඩයක් සමඟ එකවර මුඛයෙන් ගැනීමට නියම කරන අවස්ථා තිබේ. එසේ වර්ග දෙකක ඖෂධ දෙකක් මුඛයෙන් ගැනීමේදී තවත් බෙහෙත් ඇත්නම් එය නික්ෂේපණ මාර්ගයෙන් ගැනීමට නියම කර තිබේ නම් එසේ ගැනීමේදීත් අන්තර් ක්‍රියා සිදු වීමට ඉඩ තිබේ. මේ හැරුණු කොට අපගන්නා ආහාර නිසාවෙන්ද ඖෂධවල ගුණාත්මක බවේ වෙනසක් සිදුවිය හැකියි. එමනිසාවෙන් වෛද්‍යවරයාගෙන් හෝ ඖෂධවේදියාගෙන් ඒ පිළිබඳව කරුණු අසා දැනුවත් වීම ඖෂධ ගැනීමට පෙර ඉතාමත් වැදගත්. කිරි බීමත් සමග ඇතැම් ඖෂධ වර්ග ගැනීම සුදුසු නොවන අවස්ථා තිබේ. කිරි බීමත් සමග සමහර ප්‍රතිජීවක ඖෂධ ගත්විට ඒවායේ පරිවෘත්තීය ක්‍රියාවලියට බාධා ඇති කිරීම සිදුවේ. මෙයට ප්‍රධාන හේතුව වන්නේ කිරි වල අධිකව අන්තර්ගත වී තිබෙන කැල්සියම් හා මැග්නීසියම් වැනි ඛනිජ ලවණයි. මීට අමතරව කිරි වල අඩංගු casein ම් ප්‍රෝටීනය ද මේ සඳහා බලපාන බව සොයාගෙන ඇත. තවද චොක්ලට් බෙහෙත් සමග ගත යුත්තේද පරිස්සමෙන් බව ඔබ දන්නවාද. චොක්ලට් කෑම සමග යම් යම් ඖෂධ ගැනීමෙන් ඖෂධයේ ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇති වේ. නිදිමත ගතිය ඇති කරවන zolpidem නම් ඖෂධයේ ක්‍රියාකාරීත්වය අඩපණ කරයි. එසේම methylphenidate වැනි ඖෂධවල ක්‍රියාකාරීත්වය වැඩි කරයි. එමෙන්ම ආතතිය වැනි අවස්ථාවලදී ලබාගන්නා ටොනො ඇමයින් ඔක්සිඩේස් නම් ඖෂධ සමඟ ද චොක්ලට් ගැනීම සුදුසු නැත. එමගින් ශරීරයේ රුධිරපීඩනය අසාමාන්‍ය ලෙස ඉහළ යෑමට පුළුවනි. එමෙන්ම තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අඩු අයට භාවිතා කරන ලිවොතයිරොක්සින් නැමැති ඖෂධ යකඩ සමඟ ගැනීම සුදුසු නැත. යම් පුද්ගලයකු එසේ ඖෂධයක් යකඩ පෙති සමඟ ගතහොත් එම ඖෂධ වල ක්‍රියාකාරිත්වය අඩු වන බව විද්‍යාත්මකව සනාථ කර තිබේ. තවද මත්පැන් පානය ශරීරයට අහිතකර මෙන්ම, මත්පැන් පානය කිරීමෙන් අනතුරුව ඖෂධ ගැනීමද නොකළ යුතුයි. එවිට එම ඖෂධ වල ගුණාත්මක බව සහ ක්‍රියාකාරිත්වය අඩු වී ඒවා සිරුරට ලබා ගැනීම සම්පූර්ණයෙන්ම නිෂ්පල වේ. වර්තමානයේ දී පීනස රෝග සඳහා ද බොහෝමයක් දෙනා ඖෂධ වර්ග ලබා ගන්නා අතර, ඒ අතරතුරම අධි රුධිර පීඩනය සඳහා ද ඖෂධ ලබාගන්නා අවස්ථාවන් තිබෙන්නට පුළුවනි. එසේ ඖෂධ භාවිතා කිරීමෙන් අධි රුධිර පීඩනයට භාවිතා කරන ඖෂධවල ක්‍රියාකාරීත්වය අඩු වේ. එසේම එම පුද්ගලයාගේ හෘදස්පන්දන වේගය ද අසාමාන්‍ය ලෙස වැඩි විය හැකියි. තවද මානසික රෝගීන්ට නියම කරන lithium සහ clozapine වැනි ඖෂධ වල ගුණාත්මකභාවය සහ ඒවායේ ක්‍රියාකාරීත්වය කෝපි පානය කිරීමෙන් අඩු වන බවද විද්‍යාත්මකව සනාථ කර තිබේ. කෝපි පානය කර සමහර ඖෂධ ඒ සමගම ගැනීමෙන් ඒවායේ ක්‍රියාකාරිත්වය වැඩිවන අවස්ථා ද නැතුවාම නොවේ. asprin, epinephrine, albuterol වැනි ඖෂධවල ක්‍රියාකාරීත්වය ඊට නිදසුන් වේ.
මෙවැනි කරුණු පිළිබඳව ලබන දැනුවත්භාවය ඔබට ඔබගේ රෝග පහසුවෙන්ම සුවකර ගැනීමට ඉවහල් වනු ඇත.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
873 Views
Comments