පොල් වගාවේ වගතුග
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
01

පොල් වගාවේ වගතුග

පොල් වගාවේ වගතුග

සොබාදහමේ සුපිරි වෙළඳසැල වශයෙන් ඉංග්‍රීසි ජාතිකයන් විසින් හඳුන්වනු ලබන පොල් ගස ලෝක ජන සංඛ්‍යාවෙන් පහෙන් එකකට ප්‍රයෝජනවත් වන මහඟු වෘක්ෂයකි. පොල් ගසෙහි මාතෘ භූමිය ලෙස සලකනු ලබන්නේ මලයාසියාව යි. ලොව බහුතර ජනතාව විශ්වාස කරන්නේ මලයාසියාවේ හටගන්නා පොල් අවට සාගරයේ දියරැළි දිගේ පාවී ගොස් සෑම රටකම ව්‍යාප්ත වන්නට ඇති බවයි. ශ්‍රී ලංකාවේ පොල් ගසෙහි ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී එය විජයාවතරණය දක්වා ඈතට දිව යන බව පෙනේ.

 

කිසියම් ප්‍රදේශයක පොල් වගාව සාර්ථක ලෙස සිදුකිරීමට නම් එයට අත්‍යවශ්‍ය පාරිසරික සාධක කිහිපයක් තිබිය යුතුය. අඟල් 80 ක පමණ වාර්ෂික වර්ෂාපතනය, ෆැරන්හයිට් අංශක 70 80 ත් අතර වූ සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය, පසෙහි තෙතමනය නිති රඳා පැවතීම, තෙතමනය සහිත ඝන දියළු පස හෝ වැලි මිශ්‍ර ලෝම පස යනාදියයි. නිවර්තන දේශගුණයක් සහිත ශ්‍රී ලංකාව වැනි රටක පොල් වගාව සාර්ථක ලෙස ව්‍යාප්ත වීමට අවශ්‍ය පාරිසරික සාධක මනා ලෙස සපුරා ඇති බව විද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ 1962 වර්ෂය වන විට පොල් වගාව හෙක්ටයාර් දස ලක්ෂයක් පුරා ව්‍යාප්ත විය. මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ නිරිතදිග තැනිතලාවේ වෙරළාසන්න වැලි බිම් කලාපයන්හි ප්‍රධානතම ආර්ථික වගාව පොල් ය. පාරිභෝගික වැවිල්ලක් වශයෙන් ගෙවතු වල වගා කල පොල් ඉංග්‍රීසි යුගයේදී එනම් ක්‍රිස්තු වර්ෂ 1860 න් පසු ඉංග්‍රීසි ජාතිකයන් මෙරට වතුවගා ව්‍යාපාරය ඇරඹීමත් සමඟ ව්‍යාපාරික වැවිල්ලක් බවට පත්විය.

 

මහා පරිමාණ වගාවක් වශයෙන් ඇරඹි පොල් වගාව විශාල වශයෙන් ව්‍යාප්ත වී ඇති දිස්ත්‍රික්ක තුනක් දැක ගත හැකි වන අතර එනම් ගම්පහ, කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්ක යි. එම කලාපය පොල් ත්‍රිකෝණය ලෙසද හැඳින්වේ. මේ ප්‍රදේශයන්හි පොල් වගාව සඳහා නවීන විද්‍යානුකූල වගා ක්‍රම සහ පොහොර භාවිතයන් ක්‍රියාත්මක වන අතර පොල් ගස මෙරට ජන ජීවිතය සමඟ දැඩි ලෙස බැඳී පවතින වෘක්ෂයක් ලෙස හඳුනාගත හැකි වේ. පොල් යනු ශ්‍රී ලාංකිකයන්ගේ ආහාර පාන අතර සුවිශේෂී ස්ථානයක් හිමිකර ගෙන ඇති ඵලයකි. විශේෂයෙන් ශ්‍රී ලාංකිකයකුගේ ආහාර වේලෙහි 4. 6% ක්ම ලැබෙන්නේ පොල් හා පොල් තෙල් වලිනි. තවද පොල් වල අඩංගු පෝෂණ පදාර්ථ අතුරින් තන්තු කොටස් වලින් ආහාර දිරවීමේ ක්‍රියාවලිය පහසු කරවන අතර ශ්‍රී ලාංකිකයකුගේ ආහාර වේලක පොල් සම්බෝලයට හිමි වන්නේ විශේෂ ස්ථානයකි. අද වන විට ශ්‍රී ලංකාවේ දිළිඳු පැල්පතේ සිට තරු පහේ හෝටලය දක්වා වෙනසකින් තොරව පිළියෙල වන පොල් සම්බෝලයට බොහෝ දෙනා දැඩි රුචිකත්වයක් දක්වන අතර ව්‍යංජන වර්ග පිළියෙල කිරීමේදීද වෙනත් රසකැවිලි පිළියෙල කිරීමේදීද පොල් නැතිවම බැරි උපාංගයක් බවට අද වන විට පත්ව තිබේ. එමෙන්ම පිපාසය සංසිඳවන රසවත් පානයක් ලෙසද නොමේරූ අවධියෙහි පොල් ගෙඩිය හෙවත් කුරුම්බා ගෙඩිය බොහෝ ජනප්‍රියයි.

 

තවද රා සහ අරක්කු නිෂ්පාදනය සඳහා ද පොල් ගස උපයෝගී කර ගැනේ. පරිසරය පිරිසිදුව තබා ගැනීමේදී ඉදලට සහ කොස්සට හිමි වන්නේ විශේෂ ස්ථානයකි. එම උපකරණ සෑදීමේදී ඉරටු සහ පොල් කෙදි ප්‍රයෝජනවත් වේ. වර්තමානය වන විට පොල් ගසේ කොටස් වලින් නිපදවන කලා නිර්මාණ බහුල වී ඇති අතර ඉරටු ,කොහු ,පොල් කටු ,පොල් වැනි දෑ වලින් කළ විචිත්‍රවත් නිර්මාණ රැසක් වෙසක් උත්සවවලදී පමණක් නොව සාමාන්‍ය වෙළඳ පොළේ දී වුව ද අපට දැකගත හැකියි. පොල් ගසකින් ලබා ගන්නා ද්‍රව්‍ය වලින් නිර්මාණය කර ඇති විසිතුරු භාණ්ඩ වලට වර්තමානයේ දී හොඳ විදේශ ඉල්ලුමක් පවතින අතර කොප්පරා, පොල් තෙල් හා පොල් ගෙඩි අපනයනයෙන් ද ශ්‍රී ලංකාවට සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් ලැබෙනු ඇත. සබන් නිශ්පාදනය සඳහා අවශ්‍ය වන ෆ්ලෝරික් අම්ලය 48% ක් පොල් වල අඩංගු වේ. ශ්‍රී ලාංකික සංස්කෘතිය සමඟ දැඩි ලෙස බැඳී පවතින පොල් ගස හෙවත් කප්රුක එදා සහ අදත් මෙන්ම පිටරටද ජනතාව අතර වඩාත් ජනප්‍රිය ශාකයක් ලෙස හඳුනාගත හැකියි.

 

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

Photo source: Internet

views

1729 Views

Comments

arrow-up