ඔබටත් අනෙකාගේ සිත දකින්නට හැකිනම්

සිත රිදෙන සිත බිඳෙන අවස්ථාවන්වලදී අපගේ එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු පවා අතපසු වන බව ඔබ නොදන්නා කරුණක් නොවේ. සිත බොහෝ විට සෑම දේකටම මුල්වන අතර පුද්ගලයකුගේ හැකියාව ශක්තිය දැනුම ආදී සෑම දේකටම සිත මගින් බලපෑම් ඇති කරයි. සිත ශක්තිමත් කරගැනීම තුළින් ශක්තිමත් පෞරුෂයක් සහිත පුද්ගලයන් බිහිකිරීමට හැකියාවක් ලැබෙනු ඇත.
සැමවිටම අප සිතා බැලිය යුත්තේ සිත් රිදීම් අවම කරගන්නේ කෙසේද යන්න පිළිබඳවයි. සිත රිදෙන ආකාරය දැනගැනීමට ප්‍රථම සබඳතාවයක් ඇති කර ගන්නේ කෙසේ දැයි තේරුම් ගැනීම ඉතාමත් වැදගත්. අප තවත් කෙනෙකු සමග සබඳතාවක් ඇති කර ගන්නේ වචනයෙන් හෝ ක්‍රියාවෙන් බව ඔබ දන්නවාද. නමුත් අප කරන කියන දේ අනුව පමණක් නොව, කරන කියන ආකාරය අනුවද කරන කියන වේලාව අනුවද ඇති වන්නේ විවිධ තේරුම් ය. ඇත්තෙන්ම සමහරවිට කිසියම් දෙයක් නොකළත් එවැනි හැඟීමක් සිතින් ඇතිවීම වැළැක්විය නොහැකියි. යම් මොහොතක අනෙක් තැනැත්තාගේ කියුම් කෙරුම් ඔබගේ සිතේ ඇති කරගෙන තියෙන රාමුවට නැතහොත් ආකෘතියට අනුව සිදු නොවුනහොත් ඔබගේ සිතේ ඇති වන්නේ කුමක්ද. ඔබ විසින් ඉදි කර ගන්නා ලද සුන්දර චිත්‍රය ඔබ ඉදිරිපිට ම විනාශ වී යනු ඇත. මෙම තත්ත්වය ඔබ බලාපොරොත්තු නොවූවකි. එවිට ඔබගේ සිතට දැනෙන හැඟීම සිත් රිදීමක් වශයෙන් හඳුනාගත හැකියි. ඇත්තෙන්ම එය තිබෙන තත්ත්වය සමඟ සිතේ ඇතිවන ගැටීමකි. සිත් රිදීමක් කෝපයේම සියුම් අවස්ථාවක් වන අතර එම රිදීම බාහිර පුද්ගලයන් නිසා පමණක් නොව බාහිර වස්තූන් නිසා ද ඇතිවිය හැකියි. මෙම ගැටුම්කාරී ස්වභාවය මුහුණ අවලස්සන වන කඳුළු එන තත්ත්වයෙන් ආරම්භ වී ගහන බනින තත්වයටත් තවත් කෙනෙක් මරණ නැතිනම් සියදිවි නසා ගන්නා තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකියි.
මෙහිදී තේරුම් ගත යුතු වැදගත්ම දේ වන්නේ සිත රිදීමේ මූලික හේතුව ඇත්තේ අනෙක් තැනැත්තා වෙත නොව තමන් වෙත බවයි. අපගේ සිතට දැනෙන හැඟීම් තුන් ආකාරයි. ඇතැම් දැනීම් සුවදායක වන අතර අප ඒවාට කැමැත්තක් දක්වන්නෙමු. ඒවා දිගින් දිගටම පවත්වාගෙන යාමට අප කැමැත්තක් දක්වයි. හිත රිදීම වැනි ඒවා අපට වෙහෙසකර වන අතර එවැනි තත්ත්වයන් අපිට ලැබෙනවාට අපි අකමැති යි. මේ දෙකට අතරමැදි සංවේදනා අපට ලැබෙන අතර ඒවා ගැන අප එතරම් තැකීමක් නොකරයි. මෙලෙසින් වේදනාව සහ සිත රිදීම වුවද එක දිගට නොතිබෙන දෙයක් ලෙස තේරුම් ගත හැකි වන්නේ සිතෙන් සිත බැලීමට ඇති කුසලතාව දියුණු කරගත් තරමටයි. අනෙක් කිසිම ඉන්ද්‍රියකට නැති හැකියාවක් ඔබගේ සිතට පවතින බව ඔබ දන්නවාද. ඒ සිතෙන්ම සිත තුල සිදුවන දේ බැලීමට ඇති හැකියාවයි. නමුත් සිත තුල සිතුවිලි ඇතිවන්නේ ඉතා විශාල වේගයකින් නිසාත් ඒ සෑම සිතිවිල්ලක්ම ඇතිවන්නේ එකක් පසුපස තව එකක් ලෙසින් නිසාත් මෙම සිතෙන් දැකීමේ කුසලතාව අභ්‍යාසයෙන් දියුණු කරගත යුතු කුසලතාවයකි. ඔබත් අද අදම තව කෙනෙකුගේ සිත දැකීමට හුරු වන්නට උත්සාහ දරන්න. එවිට ඔබටත් අන් අය සමඟ යහපත් සබඳතාවයක් දිගු කාලීනව පවත්වා ගන්නට හැකියාවක් ලැබෙනු ඇත.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
785 Views
Comments