කොරෝනා නිසා බංකොලොත් වූ හින්දි සිනමාව

කොරෝනා වසංගතය මේ වන විට ලොව සියලුම ක්‍රියාකාරකම් වලට පහරදී අවසන්. හින්දි සිනමා කර්මාන්තයේ නිජබිම වන මුම්බායිහි වෛරස් ආසාදනය ඉහළ මට්ටමක පැවතීම බොලිවුඩයට වසර ගණනාවක දැඩි පසුබෑමක් ඇතිවිය හැකි බවට සිනමාවේ ප්‍රවීණයන් අනතුරු අඟවා සිටිනවා. මේ අනුව කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් ඉන්දීය සිනමාව මූල්‍යමය වශයෙන් යථා තත්ත්වයට පත්වීමට අවම වශයෙන් වසර දෙකක පමණ කාලයක් ගතවනු ඇති බව සිනමා විශ්ලේෂකයන්ගේ අදහසයි.
ඉහළ පිරිවැයක් දරා නිමවුණු රෝහිත් ෂෙට්ටිගේ සූරියන්වන්ෂි මාර්තු අග තිරගත කිරීමට නියමිත වුවත් වසංගත තත්ත්වය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දමා තිබේ. 1983 ඉන්දීය ලෝක කුසලාන ජයග්‍රහණයේ කතාව ගෙන එන 83 චිත්‍රපටය ද ඉදිරියට ගෙන යන බව නිවේදනය කෙරිණි. බාගී 3 චිත්‍රපටය එහි දෙවන සතිය තුළ සුළු ආදායමක් වාර්තා කළ අතර ඉර්ෆාන් ඛාන්ගේ රංගනයෙන් හැඩවුණු ඇන්ග්‍රෙසි මීඩියම් චිත්‍රපටය සිනමාහල් වලින් ඉවත් කිරීමට සිදුවිය. බොහෝ දෙනා බලා සිටි රන්බීර් කපූර් සහ ආලියා භාත් රංගනයෙන් දායක වන බ්‍රහ්මස්ත්‍රා චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු නවතා දැමීය.
වසංගත තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ වසා දැමුණු සිනමාහල් සංඛ්‍යාව 9500 ක් පමණ වේ. ඉන්දීය ආයෝජන සමාගමක්වන එලාරා කැපිටල් වෙනුවෙන් විශ්ලේෂක කරන් ටෝරානි සඳහන් කර සිටින්නේ, ඉන්දියානු මට්ටමින් ජුනි මැද භාගයට පෙර සිනමාහල් විවෘත නොවිය හැකි අතර සාමාන්‍ය ජන ජීවිතය අගෝස්තු වන තෙක් නැවත නොපැමිණෙනු ඇති බවයි. ඉන්දීය සිනමා කර්මාන්තයට මේ වන විටත් බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් මිලියන 330 ක් පමණ අහිමි වී ඇත.
කොරෝනා වෛරසය හේතුවෙන් ඉන්දීය සිනමාවට සිදු වු බලපෑම හා එයට පිළියම් සම්බන්ධයෙන් කතිකා කිරීම වෙනුවෙන් චිත්‍රපට නිෂ්පාදකයින්, බෙදාහරින්නන් සහ නළු නිළියන් රැසකගේ සහභාගීත්වයෙන් පසුගිය සතියේ වීඩියෝ සම්මන්ත්‍රණයක් පැවැත්විණි. එහිදී බොහොමයන් නිෂ්පාදනයන් පවසා සිටියේ ඉදිරියේදී චිත්‍රපට සඳහා දුෂ්කර කාලයක් පැමිණෙනු ඇති බවයි. කොරෝනා වෛරස් ව්‍යාප්තිය වෙනුවෙන් නිකුත් කළ නියෝග ඉවත් කිරීමෙන් පසුව වුවද සිනමා ශාලාවලට පැමිණෙන ලෙස ජනතාවගෙන් අයැදීමට සිදුවනු ඇති බව ඔවුන්ගේ අදහසයි.
ඉන්දීය සිනමා සංඛ්‍යාලේඛණ වලට අනුව සාමාන්‍ය වර්ෂයක ඉන්දියානු චිත්‍රපට 1200 ක් පමණ නිපදවන නමුත් බොක්ස් ඔෆිස් ආදායම පහත වැටීම සමඟ නිෂ්පාදන ආයතන මූල්‍ය අර්බුදයකට එරෙහිව සටන් වදින බැවින් විශාල පිරිවැයක් දැරූ චිත්‍රපට ඉදිරි වර්ෂයට ගෙන යාම ද සිදු විය හැකිය.
by Dilki Shamani
Photo source : Internet
316 Views
Comments