ශ්‍රී ලාංකීය කලාවට ආලෝකයක් වූ ඔහු
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
07

ශ්‍රී ලාංකීය කලාවට ආලෝකයක් වූ ඔහු

ශ්‍රී ලාංකීය කලාවට ආලෝකයක් වූ ඔහු

ශ්‍රී ලාංකීය කලා කෙත පෝෂණය කරන්නට මේ වන විට ඉතාමත් දක්ෂ මෙන්ම හැකියා පූර්ණ පුද්ගලයන් රැසක් බිහිවී තිබීම සතුටට කරුණකි. ඒ අතරින් වඩාත් සුවිශේෂී චරිතයකි ප්‍රවීණ කලාකරු බන්දුල විජේවීර මහතා. අපි අද ඔහු ගැන කතා කරමු.

ඔහු සිය මූලික අධ්‍යාපනය ලබන ලද්දේ අලව්ව මධ්‍ය මහා විද්‍යාලයෙනි. තවද ප්‍රථම වරට සංගීතය පිළිබඳව අත්පොත් තබන ලද්දේ සේනානායක ගුරුපියාණන් යටතේ වන අතර ඉන් අනතුරුව ඔහුට හමුවන සුමන ගුණතිලක ගුරුපියාණන්ද ඔහුගේ ගමනට මහත් රුකුලක් විය. ඔහු විසින් පාසල තුළ අධ්‍යක්ෂණය කරන ලද සෑම නාට්‍යයකම රඟපෑමට බන්දුල විජේවීරයන්ට හැකි වූ අතර විශේෂයෙන්ම අන්දරේ නමැති නාට්‍ය තුළ ප්‍රධාන චරිතය රඟපෑමටද ඔහුට අවස්ථාව උදාවිය. ඉන් අනතුරුව උසස් පෙළ නිමවීමෙන් අනතුරුව 1969 වර්ෂයේදී සංගීත විද්‍යාලයට ඇතුළත් විය. එම කාලයේදී රෝහණ වීරසිංහ, ලක්ෂ්මන් විජේසේකර, ආනන්ද වීරසිරි, සුනිල් දයානන්ද, කෝනාර, මාලනී බුලත්සිංහල වැනි අය ඔහු සමඟ සිටි සමකාලීන කලාකරුවන් වේ. හුලවාලී චිත්‍රපටයේ දුම්බර මැණිකේ ගීතය ගායනා කිරීමත් සමගම චිත්‍රපට ක්ෂේත්‍රයට ඔහුගේ ආගමනය සිදුවිය. කුලගෙදරින් ගීතයෙන් අනතුරුව බන්දුල විජේවීර නාමය සමාජගත වන්නට පටන් ගත්තේය.

 

 

 


ඔහුට බොහෝ විට ප්‍රවීණයන්ගේ ගීත ගායනා කිරීමට අවස්ථාව ලැබුණු අතර ඔහුගේ මුල්ම සරල ගී වැඩසටහන සංගීතවත් කරන ලද්දේ ප්‍රවීණ ගායක වික්ටර් රත්නායකයන් විසින්. දෝත පුරා මුතු මාල රටා යන ගීතය ඔහු විසින් සංගීත නිර්මාණය කරන ලද පළමු ගීතයයි. අත්වැල් ගායකයෙක් වශයෙන් ගුවන් විදුලියට සම්බන්ධ වීමෙන් අනතුරුව බොහෝ ප්‍රවීණයන් ඇසුරු කිරීමටද ඔහුට අවස්ථාව උදාවිය. ඔහු විසින් රෝහණ බැද්දගේ මහතා සමඟ එක්ව ගායනා කරන ලද මාමයි බෑනයි කියන සංකල්පය ඉතාමත් ජනප්‍රිය වූවක්. එසේ වන්නට ඇත්තේ එහි අන්තර්ගතව ඇති වෙනස්ම සහ අරුත්බර කලා රටාව නිසාවෙන් වන්නට ඇති. ඇත්තෙන්ම ඔහු ප්‍රසිද්ධ වේදිකාවට කරලිගත වන්නේ දයානන්ද ගුණවර්ධනයන්ගේ නරිබෑණා නාට්‍යයේ පොතේ ගුරාගේ චරිතය හරහායි. එනම් 1973 වර්ෂයේදීය. ඉන් අනතුරුව 1975 වර්ෂයේදී කපුවාගේ චරිතයද රඟපෑමට ඔහුට අවස්ථාව හිමිවිය. 1975 වර්ෂයේ සිට අද වනතුරුත් එම නාට්‍ය කරලිගත වීම විශේෂත්වයකි. ඊට අමතරව මේ දිනවල මධුර ජවනිකා, ආනන්ද ජවනිකා වැනි වේදිකා නාට්‍ය සඳහා ඔහු විසින් සිය ප්‍රතිභාපූර්ණ රංගන දායකත්වය ලබාදෙන්නේ ඉමහත් සතුටකිනි. බන්දුල විජේවීරයන් සැබැවින්ම ශ්‍රී ලාංකීය කලාවට අභිමානයකි. තමන්ටම ආවේණික වූ දක්ෂතාවයකින් ප්‍රේක්ෂකයන් වශී කරවන සුළු චරිතයක් වූ ඔහු ශ්‍රී ලාංකීය කලා කෙත නිබදවම අස්වද්දයි. තව තවත් ඔහුට එම කාර්යභාරය සිදු කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය වාසනාව උදාවේවා යැයි අප හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරමු.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

 

views

395 Views

Comments

arrow-up