"ප්‍රේක්ෂකයින් කැමති නෑ කලාකරුවන් දේශපාලනය කරනවට" - අනූෂා දමයන්ති

“මාස හයක් විතර කතා බහ කරලා තමයි අපි තීරණයක් ගත්තේ....”
“ඔව්. මගේ ප්‍රේක්ෂකයෙක් හැටියට තමයි එයාව මට මුණගැහුණේ...”
“ඔහු කාලයක් තිස්සේ මගේ දුරකථන අංකය හොයලා තියෙනවා...”
අනුෂා දමයන්ති.... නර්තනයෙන් හපන්කම් පෑ ඇය රංගන ශිල්පිනියක් විදිහටත් කාගේත් ආදරය
දිනාගත්තා. කොරෝනා අපේ රටට ගොඩ බැහැපු වෙලාවේ විවාහයට සියලු දේ සුදානම් කරලා තිබුණු
ඇයට කොරෝනා නිසා එය නැවත වතාවක් කල් දාන්න වුනා. මේ ඇය සතිඅන්ත පුවත්පතක් සමඟ කළ
කතාබහක්......
මේ දවස්වල නිදහසේ ඉන්නවා වගේ?
කොරෝනා දෙවැනි රැල්ල පටන් ගැනීමත් එක්ක නර්තනය පැත්තෙන් සම්බන්ධ වෙන්න තිබ්බ වෙඩින් කිහිපයක්ම
අවලංගු වුණා. අලුත් චිත්‍රපට තුනක් විතර කරන්න හිටියත් රටේ තිබෙන තත්ත්වය එක්ක ඒ වැඩත් කරන එක
කල් ගිහින් තියෙනවා.
ඔබ පුංචි තිරයේ අලුත් වැඩ කටයුත්තකුත් පටන් ගන්න සූදානම් වෙනවා කියලා ආරංචියි?
ඔව්. අලුත් ටෙලි නාට්‍යයක රූගත කිරීම් ඉදිරියේදී පටන් ගන්න තියෙනවා. කොරෝනා තත්ත්වය එක්ක තමයි
ස්ථීරව දෙයක් කියන්න බැරි.
ඔබ බොහෝ වෙලාවට ප්‍රේක්ෂකයන්ට හමුවුණේ සිනමාවෙන්. දැන් පුංචි තිරයටත් බර තියයිද?
මම පුංචි තිරයට අඩු දායකත්වයක් දක්වලා තියෙන්නේ. ටෙලි නාට්‍ය ගොඩකට සම්බන්ධ වෙනවා කියලා
දෙයක් නැහැ. හොඳ නිර්මාණයක් ලැබුණොත් සම්බන්ධ වෙනවා.
සිනමාවේ තරු ගුණය ආරක්ෂා කර ගන්න අවශ්‍ය නිසාද පුංචි තිරයට වැඩි බර නොතියන්නේ?
පුංචි තිරයේ වුණත් මම වැඩ කරන්නේ තෝරා බේරාගෙන. මම කොහොමත් සිනමාවට ආදරෙයි, කැමැතියි.
ඒ නිසා පුංචි තිරයට ගොඩක් බර වුණේ නැහැ. සිනමාවෙන් රැකගත්ත තරු ගුණය රැකගත යුතු නිසාමයි
එහෙම කළෙත්. අපේ ප්‍රවීණයන් පවා ඉන්නවා තවම සිනමාවේ රැකගත්ත තරු ගුණය පරිස්සම් කරගන්න.
මමත් ඔවුන්ගෙන් ඒ දේ ඉගෙන ගත්තේ. සිනමාවේ ඉන්න තමයි මම අදටත් වැඩිපුර කැමැති. ටෙලි නාට්‍ය
ගොඩක මාව දකින්න ලැබෙන එකක් නැහැ. හොඳ, මට කරන්න පුළුවන් දෙයකට සම්බන්ධ වෙලා සිනමා
නිළියක් කියන තැන ඉන්න තමයි මම කැමැතිි.
ප්‍රේක්ෂකයනුත් කැමැත්තෙන් ඇත්තේ ඔබ සිනමාවේ ඉන්නවටද?
ඔව්. සිනමා නිළියක් කියන වටිනාකමට ගොඩක් අය කැමැතියි. නිතර නිතර දකිනවට වඩා ඉඳලා හිටලා හරි
හොඳ දෙයකින් එළියට එනවට තමයි ප්‍රේක්ෂකයෝ වුණත් කැමැති.
ක්ෂේත්‍රයට ආපු කාලෙත් එක්ක බලද්දි තාමත් ජනප්‍රියත්වය රැඳිලා තියෙනවාද? නැත්නම්
ජනප්‍රියත්වයේ අඩු වැඩිවීම් සිද්ධ වෙලාද?
ඒක හරිම සාපේක්ෂයි. එකපාරට ජනප්‍රිය වෙනවා. ජනප්‍රියත්වයේ අඩු වැඩිවීම් සිද්ධ වෙනවා කරන
නිර්මාණ එක්ක. මම සිනමා නිළියක් විදිහට වගේම නර්තන ශිල්පිනියක් නිසත් ජනප්‍රියත්වය ලබනවා.
දේශපාලනය නිසාත් මම ජනතාව අතර ඉන්නවා. මේ හැම ක්ෂේත්‍රයකින්ම දන්න හඳුනන කෙනෙක් විදිහට
මට ඉන්න ලැබිලා තියෙනවා.
ඔබේ දේශපාලන නැඹුරුවට ප්‍රේක්ෂකයෝ කැමැතිද?
බොහෝ ප්‍රේක්ෂකයන්, කලාකරුවෝ දේශපාලනය කරනවට කැමැති නැහැ. බොහෝ ප්‍රේක්ෂකයෝ මට
කියන්නේ මගේ නර්තනයට, රංගනයට කැමැතියි කියලා. නමුත් අපි හරි දේ කරනවා නම්, ජනතාවට
දැනෙන දෙයක් කරනවා නම් ප්‍රේක්ෂකයෝ විරුද්ධ නැහැ. අපි ඉතිං මොන දේ කළත් කැමැති පිරිසක්
වගේම අකැමැති පිරිසක් ඉන්නවානේ. කොහොම වුණත් අපි කරන දේ අවංකව, සාධාරණව කරනවා නම්
අපිට ගෞරවයක්, ආදරයක් ලැබෙනවා.
පෙම්වතා කැමැතිද ඔබ දේශපාලනික කටයුතුවලට සම්බන්ධ වෙනවට?
මං කරන කිසිම දෙයකට ඔහු අකැමැති නැහැ. රංගනයේ, නර්තනයේදී වගේම දේශපාලන කටයුතුවලදී
මගේ හැසිරීම, මම මොනවාද කරන්නේ කියන එක හැමෝම දන්නවා. අරක කරන්න එපා. මේක කරන්න
එපා කියලා එයා කියන්නේ නැහැ. එයා කලාවට ගොඩක් කැමැතියි. ඔහු හොඳ විවේචකයෙක්.
සහයෝගිවන්තයෙක්. තමන්ට දැනෙන දේ කියනවා මිසක් නීති රීති දාලා එයා මාව හිර කරන්නේ නැහැ.
එයා හැම තිස්සේම අගය කිරීම් සහ වටිනාකම් දෙන කෙනෙක්.
ඔහුව තෝරා ගැනීමේදීත් ඒ සාධක බලපාන්න ඇති?
අනිවාර්යයෙන්ම. ඔහු මට නීති දාන්නේ නැති නිසා මට මානසික වධයක් තිබ්බේ නැහැ. මට නිදහස දීලා
හරි දේ හරි විදිහට කරන්න එයා මට සහයෝගය දුන්නා. ඔහුව ජීවිතයට තෝර ගන්න ඒ සාධක බලපෑවා.
පෙම්වතා ඔබේ රසිකයෙක් නේද?
ඔව්. මගේ ප්‍රේක්ෂකයෙක් හැටියට තමයි එයාව මට මුණගැහුණේ. මගේ නර්තනයට ඔහු ගොඩක් කැමැතියි.
ඔහු මගේ රසිකයෙක් වෙලා කාලයක් තිස්සේ මගේ දුරකථන අංකය හොයලා තියෙනවා. පස්සේ මගේ
යාළුවෙක් ඔහුට මගේ දුරකථන අංකය දීලා තිබුණා. මාස හයක් විතර කතා බහ කරලා තමයි අපි තීරණයක්
ගත්තේ.
සැමියා වෘත්තියෙන් මොනවද කරන්නේ?
එයා ව්‍යාපාරිකයෙක්.
ඔබේ විවාහයත් කල් දාන්න වුණා නේද?
ඔව්. මේ පවතින තත්ත්වයත් එක්ක විවාහයත් කල් ගියා.
හැමදේම කල් යන එක ගැන දුකක් නැද්ද?
අපි හිතාමතා අපේ විවාහය කල්දාගත්තා නෙමෙයි. මේ කොරෝනා තත්ත්වය නිසා හැමෝගෙම ජීවිතවල
දේවල් පස්සට ගියා. කලකිරීමක් කනගාටුවක් නැහැ. කොරෝනා හැමෝටම බොහෝ පාඩම් ඉගැන්නුවා.
ඔබ මේ තාක් ජීවිතයේ ලැබුණ දේවල් ගැන සතුටු වෙනවාද?
ඔව්. මම මට ලැබුණ දේවල් ගැන සතුටු වෙනවා. ප්‍රේක්‍ෂකයන් ආදරය කරන චරිතයක් වෙන්න ලැබීම
වාසනාවක්. මගේ ජීවිතේ දැවැන්ත ප්‍රශ්න, කඩාවැටීම් නැහැ. වෘත්තීය අතින් ගත්තම කැපිලි කෙටිලි,
නොලැබීම් සිද්ධ වුණ අවස්ථා නැතිව නෙවෙයි. මම මොන දේ වුණත් ඉවසීමෙන්, උපරිම කැපවීමෙන් ඉදිරියට
ආවා. සම්මානනීය නිළියක් හැටියට මම ආපු ගමන සතුටුයි. නමුත් රංගනයෙන්, නර්තනයෙන්, සිනමාවේ මීට
වඩා ඉඩක් ලැබුණා නම් මීට වඩා මගේ දක්‍ෂතාව පෙන්වන්න තිබ්බා කියලා හිතෙනවා. අපරාදේ මගෙන්
හරියට වැඩක් ගත්තේ නෑ කියලත් හිතුණ අවස්ථා තිබෙනවා. නමුත් මම මට ලැබුණ දේවල් ගැන සතුටුයි.
ක්‍ෂේත්‍රයට ඇවිත් කාලයක් ගත වෙලත් ඔබට කැපිලි තියෙනවාද?
ඒක මට විතරක් නෙවෙයි මේ ක්‍ෂේත්‍රයේ ඉතිහාසයේ ඉඳන් තිබුණ දෙයක්. කෙනෙක්ට වඩා ජනප්‍රිය
වෙන්න, නිර්මාණ ලබාගන්න එදා මෙදාතුර තිබ්බ දෙයක් තමයි මටත් බලපෑවේ. අගය කළ යුත්තා අගය
කරලා වටිනාකම් ලබාදිය යුත්තාට වටිනාකම දීලා දක්‍ෂයාට හිමි තැන දෙනවා නම් ඒක උතුම්
මනුෂ්‍යත්වයේ ගුණයක්.
ජීවිතයේ ඉදිරිය ගැන ඔබට සැලසුම් තියෙනවාද?
ලබන අවුරුද්දේ මම ව්‍යාපාරිකාවක් වෙයි. ඒ වෙනුවෙන් මම වැඩ කරගෙන යනවා. ඒ වගේම මම
ගොඩක් නිදහසේ ඉන්න කැමැති කෙනෙක්. මගේ නර්තන පාසලක් පටන් ගන්නත් කාලයක ඉඳන් මගේ හීනයක්
තියෙනවා. අවංකව කරන දේ කරන්න ඕන නිසා තමයි මම ඒක කල්දදා හිටියේ. කොහොම වුණත්
ව්‍යාපාරිකාවක් නම් වෙයි.
එතකොට රංගන ශිල්පිනියට මොනව වෙයිද?
එයා තමයි මගේ ජීවිතේ. සිනමා නිළියක් කියන දේ වගේම නර්තන ශිල්පිනියක් කියන දේ රැකගෙන තමයි
අනෙක් හැමදේම කරන්නේ.
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම" පුවත්පතේ "හදගැස්ම" අතිරේකයෙන්...
445 Views
Comments