අදෘෂ්‍යමාන කළ ඇමරිකානු නෞකාවේ කතාව ඇත්තක්ද?
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
21

අදෘෂ්‍යමාන කළ ඇමරිකානු නෞකාවේ කතාව ඇත්තක්ද?

අදෘෂ්‍යමාන කළ ඇමරිකානු නෞකාවේ කතාව ඇත්තක්ද?

ඉතිහාසගත වාර්තා අනුව ලෝකය පුරා කතාබහට ලක්වූ විශේෂ සිදුවීමක් ලෙස ඇමරිකානු නාවික හමුදාවට අයත් USS Elderrich නෞකාව නොපෙනී යාමේ පරීක්ෂණයකට භාවිතා කිරීමේ සිදුවීම හැඳින්විය හැකිය.


මේ සිදුවීම සිදු වූ ආකාරය පිළිබඳව මුලින්ම කතාබහට ලක්වන්නේ Morris K Jessup නම් තාරකා විද්‍යාඥයාට ලැබුණු ලිපියක් මඟිනි. 1955 දී Carl M Allen නැමැති පුද්ගලයෙකුගේ Morris හට ලිපි දෙකක් ලැබී ඇත. මේ ලිපි වල සඳහන් වී ඇත්තේ දෙවන ලෝක යුද සමය තුළ එනම් 1942 කාල වකවානුව තුළ ඇමෙරිකානු නාවික හමුදාව විසින් Philadelphia Naval Yard හිදී USS Elderrich නෞකාව අතුරුදහන් කිරීම පිළිබඳ ඇසින් දුටු සාක්ෂි හා ඒ පිළිබඳ විස්තරයකි. නමුත් තාරකා විද්‍යාඥයෙකු, ග්‍රන්ථ රචකයෙකු මෙන්ම පිටසක්වල ජීවීන් පිළිබඳ පර්යේෂකයෙකු වූ Morris මේ සිද්ධිය පිළිනොගෙනම බැහැර කර ඇත. ඒ වෙනුවට ඔහු ඒ පිළිබඳව සුළු සටහනක් පමණක් තබා ඇත.


පසුව මෙම සිදුවීම පිළිබඳව ලෝකය කතාබහ කිරීමට පෙළඹෙන්නේ 1979 චාර්ල්ස් බර්ඩ්ලින් හා වියම් එම් මොරිස් විසින් ප්‍රසිද්ධ කරන ලද The Philadelphia Experiment Project Invisibility නම් ග්‍රන්ථය මගිනි. මේ ග්‍රන්ථයේ ඇල්ෆ්ර්ඩ් බයිලෙක් නැමැති පුද්ගලයෙකු විසින් තමා Philadelphia අත්හදා බැලීමෙන් දිවි ගලවාගත් පුද්ගලයෙකු බව තොරතුරු සමාජ ගත කරන කතාවක් අඩංගු වේ. දැනට ඇති ප්‍රබලම සාක්ෂිය වන්නේ ද මෙයයි. ඇල්ෆ්‍රඩ් බයිලෙක් විසින් ලබාදුන් තොරතුරු වලට අනුව විසිවන ශතවර්ෂයේ විශිෂ්ටම විද්‍යාඥනයින් වන ඇල්බට් අයිස්ටයින් සහ නිකොලා ටෙස්ලා පිළිබඳව ද මෙම ග්‍රන්ථයේ සඳහන්ව ඇත. මේ නිසා බොහෝ පිරිසක් මේ ග්‍රන්ථයේ සඳහන් බයිලෙක් ගේ තොරතුරු පිළිගැනීමට පෙළඹුණි.

 


බයිලෙක්ට අනුව 1930 අග භාගයේ දී ඇමෙරිකානු නාවික හමුදාව විසින් විද්‍යුත් චුම්භක භාවිතයෙන් තම යුද නෞකා නොපෙනී යන තත්ත්වයට පත් කිරීමේ (Invisibility clock) පරීක්ෂණයක නිරත වී ඇත. මේ කාලයේදීම අයින්ස්ටයින් විසින් විද්‍යුත්චුම්බක කොයිල් භාවිතයෙන් යුද නෞකා වලට Magnetic බෝම්බ වලින් සිදුවන හානිය අවම කිරීම සම්බන්ධව පරීක්ෂණයක් සිදුකර ඇත. මේ සඳහා ඔහු භාවිතා කර ඇත්තේ Unified Field නම් න්‍යායකි. මෙම න්‍යාය අයිස්ටයින්ගේම න්‍යායකි. ටෙස්ලා විසින් පසුව අයිස්ටයින්ගේ මෙම න්‍යාය භාවිතයෙන් නෞකාවන් අදෘශ්‍යමාන තත්ත්වයට පත් කළ හැකිදැයි කුඩා බෝට්ටු භාවිතා කර පරීක්ෂණයක් සිදුකර ඇත. එමෙන්ම අයින්ස්ටයින්ගේ Unified Field න්‍යාය ටෙස්ලා විසින් විසඳා ඇති බවටද මෙම ග්‍රන්ථයෙහි සඳහන් වේ.


බයිලෙක්ට අනුව කුඩා බෝට්ටු මගින් කළ අත්හදා බැලීම සාර්ථක වීම නිසා ටෙස්ලා නාවික හමුදාව සමඟ විශාල නෞකා භාවිතා කර Invisibility පිළිබඳව අත්හදා බැලුවද එය සාර්ථක වී නොමැත.අනතුරුව ටෙස්ලා මෙම ව්‍යාපෘතියෙන් ඉවත් වී එම වැඩකටයුතු ජෝන් වොන් නියුමාන් නම් ගණිතඥයාට පවරා ඇත. ජෝන් වොන් නියුමාන් යනු පලමු න්‍යෂ්ටික බෝම්බය නිර්මාණය කළ මෑන්හැටන් ව්‍යාපෘතියේ ප්‍රධාන ගණිතඥයාය. බයිලෙක් පවසන පරිදි විවිධ පරීක්ෂණ වලින් අනතුරුව ආචාර්ය ජෝන් විසින් ඇමෙරිකානු නාවික හමුදාවේ USS Elderrich නෞකාව භාවිතයෙන් සිදු කළ පළමු අත්හදා බැලීමේදී සුළු කාල රාමුවක් තුළ නෞකාව අදෘශ්‍යමාන තත්ත්වයට පත් කිරීමට සමත් වී ඇත. USS Elderrich යනු කැනොන් පන්තියේ ප්‍රහාරක නෞකාවකි.

 

බයිලෙක් සඳහන් කරන්නේ මෙය සාර්ථක වීමට හේතුවී ඇත්තේ Zero Timer Reference නම් ටෙස්ලාගේ උපකරණයක් බවයි. මෙයට පෘථිවියේ විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රය හා අපගේ චක්‍රාවාටය මධ්‍යයේ ඇති විශාල විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රයේ අතරමැද උපාංගයක් ලෙස ක්‍රියා කිරීමට හැකි බව සඳහන්ය. ටෙස්ලා විසින් මෙම උපකරණය භාවිතා කිරීමේ දී මිනිසුන්ට විය හැකි බරපතළ ගැටලු සම්බන්ධයෙන් කිහිප අවස්ථාවකම ඇමරිකානු නාවික හමුදාවට අනතුරු අඟවා ඇත. නමුත් ඇමරිකානු නාවික හමුදාවේ අවශ්‍යතාවය මත ආචාර්ය ජෝන් විසින් දෙවන වරටත් 1943 අගෝස්තු 12 වැනි දා පරීක්ෂණය සිදු කර ඇත. එහිදී සම්පූර්ණ නෞකාවම ලේසර් ආලෝකයෙන් පිරි කොළ පැහැ දී දුමාරයකින් වැසී ගොස් අතුරුදහන් වී පැය කිහිපයකට පසු නැවත එය තිබූ ස්ථානයෙන් ම මතු වී ඇත. එහිදී නෞකාවේ සිටි බොහෝ පිරිසක් බරපතළ කායික ගැටළු වලට මුහුණ දී ඇත. ඇතැම් නාවිකයින් නෞකාවේ යකඩ බිත්ති වලට ඇලී සිටි බවත් තවත් සමහර නාවිකයිගේ ශරීර කොටස් පමණක් නැවත මතු වී තිබුණු බවත් බයිලෙක් පවසා ඇත. බයිලෙක්ට අනුව මේ නෞකාව කාලය හරහා ගමන් කර නැවත පැමිණ ඇත. එමෙන්ම ඔහු පවසන ආකාරයට නැව අතුරුදහන් කරන මොහොතේ ඔහු සහ ඔහුගේ සහෝදරයා නෞකාවෙන් පිටතට පැන ඇත. මෙය නෞකාව පිළිබඳ කතාන්දරයයි.

 


නමුත් එය පිළිගත හැකිද නොහැකිද යන්න පහත කරුණු මත ඔබට තීරණය කළ හැකිය.


USS Elderrich නෞකාවේ ක්‍රියාන්විත ආරම්භ කළ දිනයේ සිට එහි මෙහෙයුම් වාර්තා ඇතුලත් Ship Lock එක ඇමරිකානු නාවික හමුදාව විසින් ප්‍රසිද්ධියට පත් කර ඇත. නමුත් එ් කිසිම වාර්තාවක ඉහත ආකාරයේ පරීක්ෂණයකට නෞකාව සම්බන්ධ වූ බව සඳහන් වී නොමැත.
නෞකාව 1951 වසරේදී ග්‍රීක නාවික හමුදාවට විකුණා ඇත. ඉහත සඳහන් ආකාරයේ ඉතා වැදගත් පරීක්ෂණයකට භාජනය කළේ නම් එවැනි නෞකාවක් වෙනත් රටකට විකුණාවිදැයි යන්නත් ගැටලුවකි.


ටෙස්ලා විසින් අයින්ස්ටයින්ගේ න්‍යාය විසඳුවේ නම් ඔහු තම ජීවිත කාලය අවසානයේදී ඉතා දුක්ඛිත තත්වයෙන් හෝටල් කාමරයක් තුල මිය යන්නේ නැත. මන්ද එතරම් වටිනා න්‍යායක් විසඳුවේ නම් ඔහුට එම දැනුම හමුදාවට ලබා දී ඉතා විශාල මුදලක් හිමි කර ගැනීමට හැකි වෙනු ඇත.

 

 

 

 

 

 

 

by Gihan Hapuhetti

source : Internet

views

1097 Views

Comments

arrow-up