පොත් ලියා බිලියන පතිනිය වූ ලොව පළමු වැන්නිය
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
18

පොත් ලියා බිලියන පතිනිය වූ ලොව පළමු වැන්නිය

පොත් ලියා බිලියන පතිනිය වූ ලොව පළමු වැන්නිය

මවගේ සමුගැනීමෙන් සති කිහිපයක් ගෙවී ගියේය. දිනක් ද ගාඩියන් පුවත්පතේ තිබූ දැන්වීමක් රොව්ලින්ගේ ඉරණම නව මාවතකට යොමු කළේය. එහි ප්‍රතිඵලය වූයේ ඉංග්‍රීසි බස ඉගැන්වීම සඳහා රොව්ලින්ග් පෘතුගාලයට පැමිණීමයි. පෘතුගාලයේ ජීවිතය කාර්ය බහුල එකක් විය. රාත්‍රී කාලයේ කුඩා දරුවන්ට ඉංග්‍රීසි ඉගැන්වූ ඇය දිවා කාලයේ ලේඛන කටයුතු වල නිරත වූවාය. මේ අතරතුර දිනක් අවන්හලකදී ඇයට අපූරු පුද්ගලයෙකු මුණගැසුණි. ඔහු රූපවාහිනී මාධ්‍යවේදියෙකි. ජෝර්ජ් අර්න්ටේස් නම් වූ ඔහු ජේන් ඔස්ටින් නැමති බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක ලියූ සාහිත්‍ය කෘති ප්‍රිය කළ අයෙකි.රොව්ලින්ද එසේමය. දෙදෙනා එක්ව සාහිත්‍ය කෘති පිළිබඳව අදහස් හුවමාරු කර ගත්හ.


කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියේය.අවසානයේ දී 1992 ඔක්තෝම්බර් 16 වැනිදා රොව්ලින් හා ජෝර්ජ් විවාහ දිවියට එළඹුනේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තු ගොන්නක් හිතේ දරාගෙනය. 1993 ජූලි 27 වැනිදා රොව්ලින්ග් ජෝර්ජ් යුවළගේ කැදැල්ලට ජෙසිකා ඉසබෙල් සිඟිති දියණිය පැමිණියාය. විවාහ දිවියට ගත වූයේ මාස 13 ක් සහ එක් දිනක් පමණි.දෙදෙනා විවාහ දිවියෙන් වෙන් විය. නමුත් එ් පිළිබඳව කිසිවෙකු නොදත්තේය. පසුව ද ඩේලි එක්ස්ප්‍රස් පුවත්පත හා සංවාදයට එක් වෙමින් ජෝර්ජ් කියා සිටියේ නිවසේ සිදු වු ආරවුලක් නිසා තමා රොව්ලින්ගෙන් වෙන් වූ බවයි. කෙසේ උවත් අවසානයේ දී කුඩා දියණිය හා තනි වූ රොව්ලින්ග්ට පිළිසරණක් වූයේ ස්කොට්ලන්තයේ විසූ ඇයගේ සොහොයුරියයි. 1993 දෙසැම්බර්යදී සිය දියණියද කැටුව රොව්ලින්ග් ස්කොට්ලන්තයේ එඩින්ග්බරෝ වෙත පිටත් වූවාය. එ් පරිච්ඡේද තුනක් ලියා නිම කළ හැරී පෝටර් කතා මාලාවේ පළමු වැන්නද සමඟිනි.


සරසවියට සමු දී වසර හතක් ගත වී තිබුණි. ජීවිතය පිළිබඳ නැවත හැරී බැලූ රොව්ලින්ග්ට තමා පිළිබඳ හැඟුනේ තමා දැන සිටි අසාර්ථකම තැනැත්තා තමාම බවයි. විවාහය දෙදරා ගොසිනි රැකියාවද අහිමිය.තමාගෙන් යැපෙන දරුවෙකුද සිටී. තමා ලද අසාර්ථකත්වය නැවත සිතන්නට නැවත පිබිදෙන්නට දොරගුළු විවෘත කළ බව ඇය වරෙක සඳහන් කළාය.


රුවල් සිඳී ගිය නෞකාවක් සේ නොයෙකුත් හැල හැප්පීම් වලට රොව්ලින්ග් ගේ ජීවිතය ව්‍යාකූල විය. මේ සමයේදී ඇය මානසික ආතති වලටද ගොදුරු වූවාය. ආර්ථික දුෂ්කරතාවන්ගෙන් පීඩා විඳිමින් සිටි රොව්ලින්ග් රජයෙන් ලබා දෙන සුබසාධන පවා ලබා ගත්තාය.
ස්කොට්ලන්තයේ ජීවිතය අසීරු තත්වයට පත්වෙත්ම ඉංග්‍රීසි ගුරුවරියක ලෙස සේවයට එක් වීමට ඇය සිතුවාය. එරට ඉංග්‍රීසි ගුරුවරියක ලෙස සේවය කිරීමට නම් පූර්ණ කාලීන පශ්චාත් උපාධියක් ලබා සිටීම අනිවාර්ය වේ. 1995 වසරේදී එඩින්ග්බරෝ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනික පාසලට ඇතුලත් වූ රොව්ලින්ග් තමාට අවශ්‍ය වූ අධ්‍යාපනික සුදුසුකම් සපුරා ගත්තාය. මේ අතරතුර ඇය කුඩා ආපනශාලා වලට ගොස් ලිවීම ආරම්භ කළාය. එ් සිය දියණිය නිදි ගැන්වීමේ පහසු ක්‍රමය නිසා බව ඇය පසුකලෙක පවසා ඇත.


රොව්ලින්ග් ගේ අභිලාෂය මල්ඵල ගන්වමින් හැරී පෝටර් කතා මාලාවේ පළමු වැන්න නිමා කිරීමට ඇය සමත් වූවාය. එ් 1995 වසරේදීය. තමාගේ කුළුඳුල් ග්‍රන්ථය පොත් ප්‍රකාශකයන් දොළොස් දෙනෙකුට ලබා දුන්නද රොව්ලින්ග්ට ලැබුණේ යහපත් ප්‍රතිචාරයක් නොවේ. මෙසේ වසරක් ගත විය. ලන්ඩනයේ පිහිටි බ්ලූම්ස්බරි පොත් ප්‍රකාශන සමාගමේ හිමිකරු බැරී කනින්හැම් හමු වන්නේ මේ අතරතුරය. බ්‍රිතාන්‍ය පවුම් 1500 ක අත්තිකාරම් මුදලක් රොව්ලින්ග් වෙත ගෙවන බැරී පොත ප්‍රකාශයට පත් කිරීමට එකඟ වෙයි.

 


පොත ප්‍රකාශයට පත් කිරීමේ ගෞරවය හිමි විය යුත්තේ ඇලිස් නිව්ටන් නැමති බැරීගේ අට හැවිරිදි දියණියටය.එ් රොව්ලින්ග් ගේ පොතේ මුල් කොටස කියවා එහි දැක්වෙන සිත වසඟ කරවන කතාන්දරය පිළිබඳව වර්ණනා මුඛයෙන් සිය පියාට කීම නිසාය. පොත කිරීමට එකඟ වෙමින් බැරී රොව්ලින්ග් අමතා කියා සිටියේ ළමා කතන්දර පොත් ලියා මුදල් ඉපයීම අපහසු නිසා රැකියාවක් සොයා ගන්නා ලෙසයි. දෙවසරක් ගත වූ තැන රොව්ලින්ග් ගේ ලිවීමේ කටයුතු ගැන සෑහිමකට පත් ස්කොට්ලන්ත කලා සභාව ඇය දිරිමත් කිරීම සඳහා ස්ටර්ලිං පවුම් 8000 ක මුදලක් ලබා දෙන ලදී. හැරී පෝටර් කතා මාලාවේ පළමු වැන්න වූ Harry Potter and the Philosopher’s Stone නැමති පොත මුද්‍රණය කෙරිණ. එහිදී පිටපත් 1000ක් මුද්‍රණය කෙරුණු අතර ඉන් 500 ක් පුස්තකාල වලට බෙදා දුන්නේය. අද වන විට එම මුල් පිටපතක වටිනාකම ස්ටර්ලිං පවුම් 16 000 – 25 000 අතර ඉහළ වටිනාකමකින් යුක්තය. මාස කිහිපයක් ගත වත්ම රොව්ලින්ග් ගේ ග්‍රන්ථයට සම්මාන රැසක් ලැබුණි. බ්‍රිතාන්‍යයේ වසරේ හොඳම ළමා කෘතිය වැනි සම්මාන ඒ අතර විය.රොවුල්න්ග් ගේ කටුක දිවිපෙවෙත නිමා වූයේ එලෙසිනි.පාඨක ප්‍රතිචාර දිනෙන් දින ඉහළ යන්නට විය.


මේ වන තෙක් තට්ටු නිවාස සංකීර්ණයක දිවි ගෙවූ රොව්ලින්ග් එඩින්බරෝහි නිවසක පදිංචියට ගියාය. මුලදී අසල්වැසින් ඇය හැරී පෝටර් කතා මාලාවේ කතුවරිය ලෙස දැන සිටියේ නැත. ඒ බව් දැනගත් පසුව ඔවුහු ඇයට ගරු කරන්නට වූහ.


හැරීපෝටර් ඇන්ඩ් ද චෙම්බර් ඔෆ් සීක්‍රට්ස්” නැමති දෙවැනි කෘතිය ප්‍රකාශයට පත් වූයේ 1998 දීය. “හැරී පෝටර් ඇන්ඩ් ද ප්‍රිසනර් ඔෆ් අස්කබාන්” නම් තෙවැනි කෘතිය 199 දෙසැම්බරයේ දී මුද්‍රණය විය. රොව්ලින්ග් ගේ මුල් කෘති තුනට ස්මාර්ටීස් සම්මානය හිමි විය. එ් සමඟම ඇය ස්මාර්ටීස් සම්මානය තෙවරක් දිනූ එකම ලේඛිකාව වූවාය.


බ්‍රිතාන්‍යයේ සහ ඇමරිකාවේ අලෙවි වාර්තා බිඳ හෙලූ ඇයගේ සිව්වැනි කෘතිය වන “හැරී පෝටර් ඇන්ඩ් ද ගොබ්ලට් ඔෆ් ෆයර්” 2000 වසරේ දී පිට විය. ඇමරිකාවේදී එම කෘතියේ පිටපත් මිලියන තුනක් අලෙවි විය.

 


ඉන් පසු මද විරාමයක් ලද ඇය තෙවසරකට පසු “හැරී පෝටර් ඇන්ඩ් ද ඕඩර් ඔෆ් ෆීන්ක්ස්” නැමැති සිය පස්වැනි කෘතිය ප්‍රකාශයට පත් කළාය.2005 වසරේ නිකුත් වූ “හැරී පෝටර් ඇන්ඩ් ද හාෆ් බ්ලඩ් ප්‍රින්ස්” කෘතිය අලෙවි වාර්තා සියල්ලම බිඳ හෙලුවේ වෙළඳ පොලට නිකුත් කර පළමු පැය 24 තුල පිටපත් මිලියන නවයක් පාඨකයන් අත පත් කරමිනි.අනතුරුව 2007 ජූලි මස 21 වැනිදා එළිදැක් වූ “හැරී පෝටර් ඇන්ඩ් ද ඩෙත්ලි හොලෝ” කෘතිය එදා මෙදා තුර සීඝ්‍රයෙන් අලෙවි වූ ග්‍රන්ථය ලෙස ඉතිහාස ගත විය. පළමු දිනයේදී ඇමරිකාවේ හා බ්‍රිතාන්‍යයේ අලෙවි වූ පිටපත් ගණන මිලියන 11 කි. අනතුරුව මෙම කතා මාලාව චිත්‍රපටයට නැගීමට වෝනර් බ්‍රදර්ස් චිත්‍රපට සමාගම ඉදිරිපත් විය.


මෙලෙසින් සාර්ථකත්වයට පත් වූ ජේ.කේ රොව්ලින්ග් 2004 වන විට ග්‍රන්ථකරණයේ යෙදීමෙන් බිලියනපතිනියක වූ පළමු වැන්නා ලෙසත් ලොව ධනවතුන් අතර 1062 වැන්නා ලෙසත් ෆෝබ්ස් සඟරාව ප්‍රකාශයට පත් කළේය.

 

 

 

 

 

 

 

by Gihan Hapuhetti

Photo source : Internet

views

1067 Views

Comments

arrow-up