ඔබගේ කැමැත්ත තනි පුද්ගල ව්‍යාපාරයක් ද, කුඩා පෞද්ගලික සමාගමක් ද

පාරිභෝගික අවශ්‍යතා හා වුවමනා ඉටු කිරීම තුළින් ලාභ ලැබීම සඳහා පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් ලෙස ඒකරාශී වීම ව්‍යාපාර සංවිධානයක් ලෙසින් හැඳින්වේ. එලෙස ඒකරාශි වන පුද්ගලයින් විසින් ව්‍යාපාරයට යොදවනු ලබන මුදල් ඇතුළු අනෙකුත් සම්පත් ප්‍රාග්ධනය ලෙස හඳුන්වන අතර කුඩා ව්‍යාපාර පවත්වාගෙන යාමට සංවිධානය විය හැකි විවිධ ආකාර කිහිපයක් ද අද වන විට පවතී. තනි පුද්ගල ව්‍යාපාර සහ පෞද්ගලික සමාගම් යනු එවැනි ආකාර දෙකකි. ඔබත් කුඩා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන පුද්ගලයෙක් නම් මෙම ලිපිය හරහා ලැබෙන දැනුවත්වීම තුළින් ඔබටත් ගැලපෙන ව්‍යාපාර සංවිධාන ක්‍රමයක් තෝරා ගත හැකි වනු ඇත.
තනි පුද්ගල ව්‍යාපාර-
ව්‍යාපාරයෙහි අයිතිය එක් පුද්ගලයකු සතු වන ව්‍යාපාර තනි පුද්ගල ව්‍යාපාර ලෙස හැඳින්වේ. ව්‍යාපාරයේ හිමිකරු තනිවම ප්‍රාග්ධනය යෙදවීම, ලාභය තනිවම භුක්ති විදීම සහ හිමිකරු විසින්ම ව්‍යාපාරය කළමනාකරණය කිරීම මෙම ව්‍යාපාර සංවිධානයේ කැපී පෙනෙන ලක්ෂණයි. කුඩා ව්‍යාපාර සඳහා යොමුවන පුද්ගලයකුට පහසුවෙන්ම ඇරඹිය හැකි ව්‍යාපාර සංවිධාන ක්‍රමය තනිපුද්ගල ව්‍යාපාර ක්‍රමයයි. ගෘහාශ්‍රිත ව්‍යාපාර වලින් වැඩි ප්‍රමාණයක් මෙම ගණයට අයත් වේ. කුඩා සිල්ලර වෙළඳසැල්, ඇඳුම් මසන්නන්, එළවළු පලතුරු විකුණන්නන්, වැඩිදෙනෙකු තනි පුද්ගල ව්‍යාපාරිකයන් වෙයි. තනි පුද්ගල ව්‍යාපාර සංවිධානය ක්‍රමයේ වාසිදායක ලක්ෂණ කිහිපයක් පවතී. කුඩා මුදලකින් හෝ අයිතිකරුගේ වෙනත් දේපළ යොදා පහසුවෙන් ව්‍යාපාරය ආරම්භ කළ හැකි වේ. ව්‍යාපාරයේ නිරත වීමෙන් ලැබෙන ලාභය මුලුමනින්ම අයිතිකරුට හිමිවන අතර ව්‍යාපාරය සාර්ථක වී දිනෙන් දින දියුණු වන විට අයිතිකරුට මානසික සතුටක් ද ලැබිය හැකිය. වෘත්තීය පුහුණුව හා පුද්ගලයින්ගේ විශේෂ දක්ෂතා ප්‍රයෝජනයට ගෙන දියුණු වීමට තනි ව්‍යාපාර ක්‍රමය ඉතාමත් සුදුසුය. ව්‍යාපාරික තීරණ ගැනීමේදී අයිතිකරුට තම තනි කැමැත්ත අනුව ස්වාධීනව කටයුතු කළ හැකිය. මෙම ව්‍යාපාර ක්‍රමයේ අවාසි සහගත තත්ත්වයන්ද පවතී. ව්‍යාපාරය අලාභ දායක තත්වයක් ඇතිවුණොත් අයිතිකරු තනිවම ඊට මුහුණ දිය යුතුය. එහි අයිතිකරුගේ කළමනාකරණ දුර්වලතා නිසා ව්‍යාපාරය බිඳ වැටීමක් සිදු වුණොත් ව්‍යාපාරයට මුදල් සම්පූර්ණයෙන්ම අහිමි වී යයි. ව්යාපාර හිමිකරු විසින් තනිවම ප්‍රාග්ධන මුදල් යෙදවීම මෙන්ම එදිනෙදා සියලු ව්‍යාපාර කටයුතු කළමනාකරණය කිරීම ද සිදු කළ යුතුය.
කුඩා පෞද්ගලික සමාගම්-
2007 අංක 7 දරණ සමාගම් පනත යටතේ අවමය එක් අයකු ද උපරිමය කොටස්කරුවන් පනස් දෙනෙකුගේද සහභාගිත්වය ඇතිව පෞද්ගලික සමාගමක් ආරම්භ කිරීම කළ හැකිය. එක් අයෙකුට වුවත් සමාගමක් ඇරඹීමේ හැකියාව තිබීම විශේෂ ලක්ෂණයයි. මේවා කුඩා සමාගම් වෙයි. තනි පුද්ගල ව්‍යාපාරවලට වඩා වැඩි නීතිමය පසුබිමක් මත වැඩි ප්‍රාග්ධනයක් ඒකරාශී කර ගත හැකි ව්‍යාපාර සංවිධාන ක්‍රමයක් ලෙස සමාගම් සැලකේ. කොටස්කරුවන් මිලදී ගත් කොටස් වල වටිනාකමට සමානුපාතිකව වර්ෂය අවසානයේ ලාභාංශ ලැබේ. ව්‍යාපාර සංවිධාන ක්‍රමයක් ලෙස සමාගම්වලට ව්‍යාපාරික ලෝකයේ වැඩි පිළිගැනීමක් පවතී. තනි ව්‍යාපාර සමඟ සසඳා බැලීමේදී සමාගම් වල ඇති ප්‍රබලතා කිහිපයක් වාසි ලෙස පෙන්වා දිය හැකිය. කුඩා පෞද්ගලික සමාගම් ව්‍යාපාර ක්‍රමයේ වාසි කීපයක් පවතී. ප්‍රාග්ධන කොටස් විකිණීම තුළින් විශාල ප්‍රාග්ධනයක් රැස් කරගත හැකිවීම සමාගමේ වර්ධනයට හේතුවකි. කළමනාකරුවන් ලෙස අධ්‍යක්ෂ මණ්ඩලයක් තෝරා ගන්නා නිසා තනි ව්‍යාපාර හා හවුල් ව්‍යාපාරවලට වඩා වැඩි සාර්ථකත්වයක් සමාගම් වල දක්නට ලැබේ. ව්‍යාපාරය අසාර්ථක වී සමාගම බිඳ වැටීමක් සිදුවුවහොත් අයිතිකරුවන් හෙවත් කොටස්කරුවන්ට අහිමිවන්නේ මිලදීගත් ප්‍රාග්ධන කොටස්වල වටිනාකම පමණකි. තවද කොටස් කරුවන් විසින් මිලදී ගත් කොටස් වෙනත් අයට විකුණා දැමුවත් සමාගම වසා දැමීමට සිදු නොවේ. සමාගමට දීර්ඝකාලීන අඛන්ඩ පැවැත්මක් තිබේ. සමාගම් වල මෙවැනි වාසි දක්නට ලැබුණත් අවාසිදායක ලක්ෂණ කිහිපයක්ද පවතී. සමාගමක් ආරම්භ කිරීමේදී සහ පවත්වාගෙන යාමේදී නීති රීති වල බලපෑම වැඩිය. අඩු කොටස් හිමියන්ට ඇත්තේ සීමිත බලයකි. ඒ නිසා වැඩි කොටස් ගණනක් මිලට ගත් කොටස්කරුවන්ගේ අදහස් වලට වැඩි අවස්ථාවක් ලැබේ.
මෙවැනි දේ පිළිබඳව ලබන දැනුවත් භාවය ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන ඔබට විශාල අස්වැසිල්ලක් වේවි.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
1316 Views
Comments