ඔබගේ පරිගණකයේ දෘඩාංග හෙවත් hardware වල ආරක්ෂාව පිළිබඳ ඔබ සිතුවාද

වර්තමානයේ දී බාල මහලු බේදයකින් තොරව බොහෝ දෙනෙක් පරිගණක භාවිතයට නැඹුරු වී සිටි. පරිගණක භාවිතය නිසාවෙන් බොහොමයක් වැඩ කටයුතු පහසු කරගැනීමට පුද්ගලයන්ට හැකියාවක් පවතී. ඔබගේ නිවසේ පරිගණකය දෘඪාංග (hardware) සහ මෘදුකාංග (software) යන දෙවර්ගයකින්ම සමන්විත බව ඔබ දන්නා කරුණකි. ඔබගේ පරිගණකයේ දෘඩාංග නැතහොත් hardware යම් යම් අවස්ථාවන්වලදී හානි වීමටද පුළුවනි. එවැනි අවස්ථාවන් පිළිබඳව සහ ඊට යෙදිය හැකි පිළියම් පිළිබඳව මෙම ලිපිය හරහා ඔබව දැනුවත් කෙරේ.
පරිගණකයක අතින් ඇල්ලිය හැකි මෙන්ම දැකිය හැකි කොටස් පරිගණක දෘඩාංග සංරචක ලෙස හඳුන්වයි. මේවාට නිශ්චිත හැඩයක් ඇති අතර පරිගණකයක බාහිරින් පමණක් නොව පරිගණකයක පද්ධති ඒකකය (system unit) තුළ ද පරිගණක දෘඩාංග පවතී. බාහිරින් දැකිය හැකි දෘඩාංග වන්නේ මොනිටරය, යතුරුපුවරුව සහ මූසිකය යනාදිය වන අතර පද්ධති ඒකකය තුළ දෘඩ තැටිය, සිසිලන පංකාව, අංකිත වීඩියෝ තැටි ධාවකය, මවුපුවරුව, ජව සැපයුම් ඒකකය සහ මධ්‍ය සැකසුම් ඒකකය යනාදී දෘඩාංග පවතී. පරිගණක දෘඩාංග වලට හානි සිදුවිය හැකි ප්‍රධාන ආකාර කිහිපයක් පවතී. හදිසි විදුලි විසන්ධි වීම්, පරිගනක පද්ධතියේ ඇතුළත අධික ලෙස රත් වීම, පරිගණක දෘඩාංග මත දූවිලි තැන්පත්වීම සහ කෘමි උවදුරු ඇතිවීම, සොර සතුරු උවදුරු, අධික විදුලි ධාරාවක් පැමිනීම යනාදිය එම ප්‍රධාන ආකාර කිහිපයකි. මෙවැනි තර්ජන වලින් පරිගණක දෘඪාංග ආරක්ෂා කරගැනීමට පුද්ගලයන් වශයෙන් ඔබට යම් යම් ක්‍රියාමාර්ග ගැනීමට වර්තමානයේ දී හැකියාවක් පවතී. විදුලිය නිසා සිදුවන හානි අවම කිරීම සඳහා අනවරත ජව සැපයුම් භාවිතය එනම් UPS එකක් හරහා විදුලිය ලබා දීම සිදුකළ හැකිවේ. එමගින් හදිසි විදුලි බිඳ වැටීමකදී ක්ෂණිකව විදුලිය විසන්ධි නොවී යම් කාලයක් පරිගණකයට අවශ්‍ය විදුලිය ලබා දෙයි. එබැවින් පරිගණකයෙහි සිදුකරන කාර්යයන් සුරැකීම සහ පරිගණකය වසා දැමීම සඳහා අවශ්‍ය කාලය ලැබේ. එමෙන්ම ඔබට විලායක භාවිතය (fuse) තුළින්ද දෘඩාංග සංරචක ආරක්ෂා කරගැනීමට පුළුවනි. එමගින් අධික විදුලි ධාරාවක් ලැබීමෙන් පරිගණකයට සිදුවන හානිය අවම කරයි. බොහෝවිට මෙවැනි විලායක සවිකරනු ලබන්නේ ජව සැපයුම් ඒකකය තුලයි. වර්තමානයේ දී භාවිතයේ පහසුව නිසා එවැනි විලායක වෙනුවට සිඟිති පරිපථ බිඳින හෙවත් mini circuit breakers නැමැති උපාංග භාවිතා කෙරේ. තවද ඔබට සර්ජන ආරක්ෂක භාවිතය (surge protection) තුළින් ද දෘඪාංග ආරක්ෂා කර ගැනීමට හැකියාවක් පවතී. එමගින් අධික විදුලි ධාරාවක් ගලායාම හෝ අකුණු ගැසීම ආදියෙන් පරිගණකයේ දෘඪාංග ආරක්ෂා කරනු ලබයි. මෙහිදී අධික විදුලි ධාරාවක් උපකරණ තුළට ගලා ඒම පාලනය කර එම විදුලිය භූගත කරනු ලැබේ.
ඔබගේ පරිගණකය අධිකලෙස රත්වීමක් සිදුවන්නේ නම් එමගින් ද පරිගණක දෘඩාංග වලට හානි පැමිණවිය හැකිය. ඒ සඳහා ඔබට පරිගණක විද්‍යාගාරය හෝ පරිගණක කාමරය ඇතුළත වායු සමනය කිරීම සඳහා වායුසමීකරණ යොදාගැනීම කළ හැකි වේ. එමෙන්ම පරිගණකය තුල අධිකලෙස රත්වන උපාංග මත සිසිලන පංකා සවි කිරීම ද සිදු කළ හැකිය. බොහෝ අවස්ථාවන්වල දී පරිගණක දෘඪාංග මත දූවිලි තැන්පත්වීම ,අධික තෙතමනයක් ඇති වීම, කෘමින්ගෙන් හානි සිදුවීම වැනි තත්වයන්ද ඇති වීමට පුළුවනි. මේ සඳහා ඔබට කළ හැකි වන්නේ පරිගණක විද්‍යාගාරය හෝ පරිගණක කාමරය ඇතුළත හැකි පමණ පිරිසිදුව තබා ගැනීමයි. පාවහන් ගලවා විද්‍යාගාරයට ඇතුළු වීම මගින් විද්‍යාගාරය තුළ වැලි දූවිලි ආදියෙන් තොර පරිසරයක් පවත්වා ගැනීමට හැකි වන අතර විද්‍යාගාරයේ ඇති සියලු පරිගණක තෙමසකට වරක් වත් පිරිසිදු කිරීමෙන්ද පරිගණක පරිපථ මත දූවිලි ආදිය බැඳීම වලක්වාගැනීමට පුළුවනි. විද්‍යාගාරය තුළ ආහාර ගැනීමෙන් බිමවැටුණු ආහාර කැබලි වලට කුහුඹුවන් වැනි කෘමීන් ඇදී ආ හැකි බැවින් විද්‍යාගාරයට ආහාර රැගෙන ඒමෙන් වැළකීම ද ඔබ විසින් කළ යුතු වේ. තවද විද්‍යාගාරය තුළ තෙතමනයක් ඇති වුවහොත් short circuits ඇතිවිය හැකි බැවින් හැකි පමණ තෙතමනය කින් තොරව පවත්වා ගැනීමට ද කටයුතු කළ යුතුයි. එමෙන්ම සොරසතුරු උවදුරු අවම කර ගැනීම සඳහා පරිගණක විද්‍යාගාරයේ දොරජනෙල් හොඳින් අගුළු දැමිය හැකි ලෙස සැකසීම සහ පරිගණක පද්ධති ඒකකය ඉබි යතුරු මගින් ආරක්ෂා කිරීම යනාදිය කළ හැකි වේ. තවද සීසීටීවී කැමරා යනාදිය සවි කිරීම මගින්ද සොරසතුරු අවදානම අවම කර ගැනීමට හැකියාවක් පවතී.
මෙවැනි ක්‍රියාමාර්ග අනුගමනය කිරීම තුළින් ඔබට ඔබගේ පරිගණක දෘඩාංග හෙවත් software හොඳින් ආරක්ෂා කර ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
2419 Views
Comments