ශ්‍රී ලංකාවේ ඇතිවන ස්වභාවික ආපදා පිළිබඳව ඔබ දැනුවත්ද
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
22

ශ්‍රී ලංකාවේ ඇතිවන ස්වභාවික ආපදා පිළිබඳව ඔබ දැනුවත්ද

ශ්‍රී ලංකාවේ ඇතිවන ස්වභාවික ආපදා පිළිබඳව ඔබ දැනුවත්ද

ස්වභාවික ආපදාව කෙටි කාලීනව ඇතිවිය හැකි විනාශකාරී බලවේගයකි. ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන බොහෝමයක් උපද්‍රව වර්තමානයේ දී අහිතකර මිනිස් ක්‍රියාකාරකම් නිසා ආපදා බවට පත්වීම වැඩිවෙමින් පවතී. එලෙස අාපදා බවට පත්ව ඇති උපද්‍රව ලෙස නියඟ, ගංවතුර, නායයෑම්, සුළිසුළං ,අකුණු සැර, සුනාමි, භූමි කම්පා යනාදිය දැක්විය හැකිය. එවැනි ස්වභාවික ආපදාවන් කිහිපයක් පිළිබඳව පහතින් දැනුවත් වෙමු.

නියඟය -
යම් ප්‍රදේශයකට නිශ්චිත කාල වකවානුවක් තුළ ලැබිය යුතු සාමාන්‍ය වර්ෂාපතනය නොලැබීයාම නිසා පරිසරය ඇතිවන වියළි ස්වභාවය නියඟය ලෙස හැඳින්වේ. නියඟ ඕනෑම ප්‍රදේශයක ඕනෑම කාලයක පවත්නා උපද්‍රවයකි. අනෙක් ස්වභාවික උපද්‍රව තරම් නියඟය කෙරෙහි දක්වන අවධානය අඩුයි. එසේ වන්නේ නියඟය අපට නොදැනෙන අයුරින් ආරම්භ වී ක්‍රමයෙන් වර්ධනය වී මුළු මහත් ජන සමාජයටම අර්බුදකාරී තත්ත්වයක් ඇති කිරීමට සමත් නිහඬ ව්‍යසනයක් වන බැවිනි. දීර්ඝ කාලයක් තිස්සේ වර්ෂාපතනය අඩුවීම, වනාන්තර ගිනි තැබීම, වියළි සුළං ප්‍රවාහ, ගෝලීය උණුසුම වැඩිවීම සහ ශාක ආවරණය ඉවත් වීම යනාදී හේතූන් නියඟ ඇති වීමට බලපායි. නියග නිසාවෙන් ජලය හිඟවීම, කෘෂි අස්වනු විනාශ වීම, ආහාර හිඟය, වසංගත රෝග පැතිරීම, සතුන්ට හානි සිදු වීම යනාදී බලපෑම් ඇති වේ. එමෙන්ම පරිසර උෂ්ණත්වය ඉහළ යාම, භූගත ජල මට්ටම පහළ බැසීම, ලැව් ගිනි ඇතිවීම සහ ජෛව සම්පත් විනාශ වීම යනාදී පාරිසරික බලපෑම් ද නියඟ නිසාවෙන් ඇතිවේ.

ගංවතුර-
ඇල දොල ගංගා ජලාශ ආදියට කෙටිකාලීනව අධික ජනස්කන්ධයක් එකතු වූ විට එය උතුරා පිටාර ගැලීම සිදුවේ. වර්තමානයේ ගංගා ඇළ දොළ නොමැති නාගරික ප්‍රදේශවල පවා සුළු වර්ෂාවකදී වුවද වැසි ජලය පිටාර ගැලීම සුලභව දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ ගංවතුර ආපදාවට ලක්වන දිස්ත්‍රික්ක කිහිපයක් ලෙස ගම්පහ, කොළඹ, කළුතර, රත්නපුර, ගාල්ල ,මාතර, පොලොන්නරුව සහ අම්පාර යන දිස්ත්‍රික්ක පෙන්වාදිය හැක. එසේ වුවද වර්ෂාපතන තීව්‍රතාව වැඩි වීමෙන් ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක ම ගංවතුර අපදාව ඇතිවිය හැකිය. නොකඩවා ඇද හැලෙන අධික වර්ෂාව, කඳු ප්‍රදේශවල වනාන්තර එළිකිරීම, පහත් බිම් ගොඩ කිරීම සහ ගංගා නිම්නවල වැලි ගොඩ දැමීම ආදිය හේතුවෙන් ගංවතුර ඇති වේ. ගංවතුර ඇතිවීම හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතය අඩාල වීම, වගාබිම් විනාශ වීම, මිනිස් ජීවිත නිවාස දේපල විනාශ වීම, ජලය බැස යන ස්ථාන අවහිර වීම ,පානීය ජලය අපිරිසිදු වීම යනාදී අහිතකර ප්‍රතිඵල රැසක්ම ඇති වේ.

නායයෑම්-
උස් බිම් ප්‍රදේශයක පවතින ගල්, බොරළු, පස් කුට්ටි වලින් සමන්විත පොළොවේ විශාල කොටසක් බෑවුම දිගේ පහළට රූටා යාම නාය යාමක් ලෙස හැඳින්විය හැකිය. නායයාම වර්තමානයේ දී ශ්‍රී ලංකාවේ බහුලව සිදුවන ආපදාවකි. මෙය ස්වභාවිකව සිදුවන ක්‍රියාවලියක් වුවද මේ සඳහා ප්‍රධාන වශයෙන් මානුෂ ක්‍රියාකාරකම් බලපා තිබේ. නොකඩවා පවතින වර්ෂාව, භූමිය අධික බෑවුම් සහිත වීම, ඉදිකිරීම්වලදී ප්‍රමාණවත් ලෙස ගවේෂණ සිදු නොකිරීම, ස්වභාවික ජල මාර්ග අවහිර කිරීම යනාදී හේතූන් නිසා නායයෑම් තත්ත්වයන් ඇතිවීමට පුළුවනි. ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් නායයාම්වලට ලක්වන දිස්ත්‍රික්ක වනුයේ මාතලේ, මහනුවර, කෑගල්ල, නුවරඑළිය, රත්නපුර, කළුතර, ගාල්ල, මාතර ,බදුල්ල යනාදි දිස්ත්‍රික්ක ය. නායයාම් හේතුවෙන් ජීවිත හා දේපල විනාශ වීම, වගාබිම් විනාශ වීම, පරිසරය විනාශ වීම, යටිතල පහසුකම් විනාශ වීම සහ සාමාන්‍ය ජන ජීවිතය අඩාල වීම යනාදී අහිතකර බලපෑම් ඇති වේ.

සුළි කුණාටු-
නිවර්තන කලාපයේ පවතින අධික උෂ්ණත්වය සහ ඒ හේතුකොටගෙන වර්ධනය වන අඩු පීඩන කේන්ද්‍ර, සූලිකුණාටු නිර්මාණය වීම කෙරෙහි බලපා ඇත. ශ්‍රී ලංකාව නිවර්ථන කලාපයේ පිහිටා ඇති රටකි. බෙංගාල බොක්ක ප්‍රදේශයේ නිරන්තරයෙන් හටගන්නා අඩු පීඩන කේන්ද්‍රවල බලපෑම නිසා දූපතක් ලෙස පිහිටි ශ්‍රී ලංකාවද නිතර සුලිකුණාටු වල බලපෑමට හසු වේ. නැගෙනහිර වෙරළෙන් ශ්‍රී ලංකාවට ඇතුළුවන මෙම සුළං විශාල ප්‍රදේශයක ව්‍යාප්තවී වයඹදිග වෙරළින් පිටවී යයි. එමගින් දිවයිනේ උතුරු නැගෙනහිර ප්‍රදේශ වලට වැඩි බලපෑමක් ඇති කෙරේ. ජීවිත හා දේපල හානි සිදුවීම, වගාවන් විනාශ වීම ,යටිතල පහසුකම් බිඳවැටීම, වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල මුහුද ගොඩ ගැලීම යනාදී අහිතකර බලපෑම් සුලිකුණාටු නිසාවෙන් මිනිසාට ඇතිකරයි.

භූමිකම්පා-
පෘථිවි අභ්‍යන්තරයේ ඇති අධික උෂ්ණත්වය සහ පීඩන වෙනස්කම් හේතුකොටගෙන ක්ෂණිකව සිදුවන භූමියේ සෙලවීම භූමිකම්පා ලෙස හැඳින්වේ. ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම භූමිකම්පා උපද්‍රව තත්ත්වයක් පැවතුණ ද මෙතෙක් එය ආපදා තත්ත්වයක් බවට පත්වී නොමැත. එසේ වුවද ආසන්න ප්‍රදේශවල සිදුවන භූමිකම්පා මගින් ශ්‍රී ලංකාවට ද ආපදා ඇතිවිය හැකිය. අභ්‍යන්තරයේ ඇති අධික උෂ්ණත්වය හා පීඩන වෙනස්කම්, න්‍යෂ්ටික පිපිරවීම්, ගිනිකඳු පිපිරීම් යනාදිය හේතුවෙන් භූමිකම්පා ඇතිවෙයි. භූමිකම්පා හේතුවෙන් ජීවිත දේපල විනාශ වීම, මිනිසුන් අවතැන් වීම, එදිනෙදා කටයුතු අඩාලවීම, ශාක සහ සතුන් විනාශයට පත් වීම යනාදී අලාභ රැසක් සිදුවේ.

ස්වභාවික අාපදා මුළුමනින්ම වළක්වාලීමට මිනිසාට හැකියාවක් නොමැත. එහෙත් එමඟින් ඇතිවන හානිය අවම කරගත හැකිය. ඒ සඳහා අාපදා කළමනාකරණය වැදගත් වේ. පෙර සූදානම, ආපදා අවස්ථාවේදී ක්‍රියාත්මක වීම සහ ආපදාවෙන් පසු ව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අවබෝධයෙන් ජීවත් වීම පුද්ගලයන් වශයෙන් අපට සිදු කළ හැකිය.

 

 

by Sachini Sooriyaarachchi 

Photo Source: Internet

views

3067 Views

Comments

arrow-up