කියැවීම වෙන්වී ඇත්තේ කියැවීමේ මාසයට පමණක්ද
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
13

කියැවීම වෙන්වී ඇත්තේ කියැවීමේ මාසයට පමණක්ද

කියැවීම වෙන්වී ඇත්තේ කියැවීමේ මාසයට පමණක්ද

ඇතැම් පුද්ගලයන්ගේ මතය වන්නේ කියවිය යුත්තේ කියවීමේ මාසයේ දී පමණක් බවයි. කියවිය යුත්තේ මෙම මාසයේදී පමණක් යැයි වරදවා වටහා ගත යුතු නැත. හැමදාම කියවිය යුතුයි. කියවීම සඳහා එක් මාසයක් නම් කර ඇත්තේ ඒ සඳහා ජනතාව පෙළඹවීම සඳහා පමණි. ඒ මිස වෙනත් හේතු නිසා නොවේ. කියවීම සඳහා ජනතාව පොළඹවන්නට සිදුවී තිබීම එක් පැත්තකින් කණගාටුවට කරුණකි. කියවීමේ අගය ගැන රචනා නොලියූ කෙනකු පාසල් ගිය අය අතුරින් සොයාගත නොහැකි තරම්. සෑම පාසල් දරු දැරියක්ම කියවීමේ අගය ගැන ලියා ඇති බව සිහිපත් කළ යුතුයි. මේ පරපුරට කියවන්නට පෙළඹවීමක් ඇති කිරීමට සිදුවීමෙන් ඔවුන් පාසල් අධ්‍යාපනය ලබා නැතැයි වරදවා වටහාගත යුතු නැත.

කියවීමේ පුරුද්ද බොහෝ දෙනකු අතරින් මගහැරී ගියේ අද ඊයේ සිට නොවේ. වසර ගණනාවක සිට එය සිදුවී ඇත. එයට බලපෑ හේතු කිහිපයක් පවතින බව ඔබ දන්නවාද. විශේෂයෙන්ම සාහිත්‍ය විෂය කෙරෙහි තිබූ ඇල්ම බැල්ම පාසල් විෂය ධාරාවෙන් ගිලිහී යෑම ප්‍රධානතම හේතුවකි. අනෙක් අතට පොත්පත් වල මිල ගණන් ඉහළ යාමත්, වැඩිහිටියන් පමණක් නොව පාසල් දරු දැරියන් පවා අවිවේකී වීමද කියවීමේ පුරුද්ද ගිලිහියාමට හේතු වුන බව පැහැදිලියි. මේ නිසා අපගේ තරුණ පරපුර කෙරෙහි දොස් නැගීමද එක් අතකින් වරදක් ලෙස දකින්නට පුළුවනි. වර්තමානයේ දී ඇතැම් විද්වතුන් විසින් තරුණ පරපුරේ විෂය බාහිර දැනුම පිරිහී ඇතැයි පවසති. නමුත් මෙහිදී තේරුම් ගත යුත්තේ මොන දේ කරන්නටත් පුරුද්දක් තිබිය යුතුයි යන්නයි. පුරුද්දක් නැතිනම් හරියට ඒ දේ කළ නොහැකිය. කියවීම ගත්තත් එසේමයි. එක දිගට පැයක් දෙකක් පොතක් පතක් කියවන්නට නම් ඒ සඳහා පුරුද්දක් තිබිය යුතුමයි. ඒ පුහුණු ද බොහෝවිට දරු පරපුරට හිමි වන්නේ පාසැලෙන් නැතහොත් නිවසෙන්. නිවසේ දෙමාපියන් පොතපත කියවන අය නම් දූ දරුවන්ට අමුතුවෙන් කියවන්නට පුරුදු කරන්නට අවශ්‍ය වන්නේ නැත. නමුත් අද වන විට දෙමව්පියන් ගෙන් බහුතරයක් කියවනු තබා හරියට කෑමක් බීමක් සඳහාවත් වෙන් කරන්නට කාලයක් නැතැයි පවසති. ඔවුන් පවසන්නේ පැය 24ම වැඩ කළත් ජීවත් වන්නට එය ප්‍රමාණවත් නොවන බවයි. ඇතැම් අවස්ථාවන්වලදී එහි සත්‍යයක් තිබිය හැකියි. එහෙත් අවශ්‍යම නම් කාලය මදක් හෝ වෙන් කර ගන්නට බැරිකමක් නැත. මෙහිදී පෙනෙන්නේ සැබෑ වුවමනාවක් නැති බවයි.

 

 

 


පසුගිය කාලවලදී පැවති ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශණ වලට පැමිණි ජනකාය දෙස බලන විට අපගේ රටේ අය කියවන්නේ නැතැයි විශ්වාස කළ නොහැකි තරම්. එතරම් පිරිසක් ඒ සඳහා සහභාගී වී සිටියහ. එපමනක් නොව සාහිත්‍ය මාසය තුළ පමණක් දොරට වැඩුණු පොත් සංඛ්‍යාව ද සුළුපටු නොවේ. එම පොත් දොරට වැඩුම සඳහා ද එක් වූ පිරිස බොහොමයි. අනෙක් පැත්තෙන් බලන විට මෑත කාලයේ සිට පොත් සාප්පු සහ පොත් ප්‍රකාශන ආයතන වල ද වර්ධනයක් දක්නට ලැබේ. දැන් ගැටළුව වී ඇත්තේ සැබැවින්ම මිලට ගන්නා පොත්පත් කියවන්නේ ද යන්නයි. දෙමවුපියන් විසින් සිදු කළ යුතු වන්නේ තමාගේ දරුවන් නිරන්තරයෙන් ම පොත්පත් කියවීමට පෙළඹවීමයි.

හොඳ පොතක් යනු දැනුම් ගබඩාවකි. මේ දැනුම් ගබඩාවට ප්‍රවේශ විය හැකි එක් මාර්ගයකි කියැවීම. සියල්ලටම වඩා දැනුම ඉහලින් අගයන වර්තමානයේ දී දැනුම ලබා ගැනීම කාගේත් උවමනාව විය යුතුයි. අද කිසිදු හෝ දැනුමක් නොමැතිව කළ හැකි වෘත්තියක් හෝ කාර්යයක් නැති තරම්. දැනුම ලබාගත හැකි මාර්ග වර්තමාන ලෝකයේ ඕනෑතරම් තිබේ. පොතපත කියවීම ඉන් එක් ක්‍රියාමාර්ගයක් පමණි. එම නිසාවෙන් පොතපත කියවන්නට පුරුදු වීමත්, පුරුද්දක් වශයෙන් කියවන අය තව තවත් කියවන්නට හුරුවීමත් වැදගත් බව දැන් ඔබට වැටහෙනවා ඇති.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

 

views

3264 Views

Comments

arrow-up