පුස්කොළ පොතේ වගතුග - 2
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
07

පුස්කොළ පොතේ වගතුග - 2

පුස්කොළ පොතේ වගතුග - 2

මෙහි පළමු ලිපියෙන් පුස්කොළ පොත් පිලිබඳව සහ ඒවායෙහි පවත්නා ඓතිහාසික වටිනාකම පිළිබඳව මූලික හැඳින්වීමක් පාඨක ඔබට ඉදිරිපත් කළ බව මතක ඇති. මෙම ලිපිය හරහා ඔබව දැනුවත් කරන්නට සූදානම් වන්නේ පුස්කොළපොතක් සකසා ගන්නා ක්‍රමවේදය පිළිබඳවයි. මෙම ලිපිය හරහා ලබාගන්නා දැනුම ඔබට මතුයම් දවසක වඩාත් වැදගත් වේවි.

මුලින්ම පුස්කොල සෑදීමට බලාපොරොත්තුවන ගොබ නෙළා ගැනීම සඳහා තල් ගස් වෙන්කරගත යුතුයි. තල් ගොබය කපාගැනීමට දින දෙක තුනකට පෙර එය විසිරී යාම වැළැක්වීමටත් හොඳින් සවි වීම සඳහාත් ගසට නැග ගොබයේ කිහිප පලකින් මුදු දැමීම කරනු ලැබේ. මේවා පුර පෝයට කලින් කපා ගත යුතුයි. ගොබය කපා බිමට ගැනීමේදී පළුදු නොවන ආකාරයට කරගත යුතුයි. ඉන්පසුව තල්පත් වෙන්කර ගැනීම සඳහා සියුම් තුඩ සහිත පිහියක් භාවිතා කරයි. ඒ සඳහා පන් කැත්ත නමින් හදුන්වන කුඩා කැත්ත සුදුසුයි. පන් කැත්ත හෝ ඇඟිලි භාවිතයෙන් පත්‍රයට හානි නොවන පරිදි ඉරටුව ඉවත්කරගත යුතුයි. ඔප සහිත පැත්ත ඇතුලට නැවෙන ආකාරයට කොලය අගසිට මුලට ඔතාගන්න. එක් පත්‍රයක් නිම වෙද්දී නැවත තවත් පත්‍රයක් බැගින් පත්‍ර කිහිපයක්ම පළමු විදියට ඔප පැත්ත ඇතුලට සිටින සේ රෝල් කරන්න. මෙසේ රෝල් කරගත් පත්‍ර කිහිපයක් වට්ටුවක් ලෙස හැඳින්වේ. එය ඉරටු හෝ කෙඳිවලින් බැඳගන්න.

ඉන් අනතුරුව තල්කොළ තැම්බීමට ඖෂධ බදුනක් සකස් කර ගත යුතුයි. කට පළල් මැටි මුට්ටියක් ගෙන එයට කොර කහ කොළ මිටි දෙක තුනක්, කෑලි කපා ගත් අමු පැපොල් ගෙඩියක්, හීන්බෝවිටියා කොළ, අමු කහ කොළ, තිරිවානා ගලක්, තඹ කාසියක් දමන්න. මුට්ටිය ළිප තැබීමේ දී ස්වස්ති සිද්දම් යනුවෙන් කිව යුතුයි. පසුව මුට්ටියට අවශ්‍ය ප්‍රමාණයට ජලය පුරවා ගිනි දල්වන්න. බඳුනට දැමූ ඖෂධ මගින් පුස්කොළ වලට නිසි වර්ණය ලැබීම සේම කෘමි උවදුරු වලින් ආරක්ෂා වී කල් පැවැත්ම තහවුරු වන බව පැවසේ. මෙලෙස පැය දෙක හමාරක් තුනක් පමණ තම්බා ගන්න. දැන් තැම්බුණු වට්ටු ගෙන දිගහරින්න. ඒවායේ කලින් සැකසූ යතුරු සිදුර උපයෝගී කරගනිමින් ඒවා ඇඹරූ තල් ඉරටුවකින් සකසා ගත් වැලක එල්ලන්න. ඉර එළියට නොමැති අඳුරු ස්ථානයක මද පවනේ වේලා ගන්න. අනතුරුව තල්පත් එම වැලේ ගැටගසා තිබියදීම ඉර අව්වේ වේලා ගන්න. නැවත මඳ පවනේ වේලා ගන්න. නැවත ඉර අව්වේ වේලා ගන්න.

 

 

 


ඉන් අනතුරුව වේලාගත් තල්පත් මැද ගැනීම කළ යුතුයි. වැදගත් පත් ඉරු වට්ටු ලෙස සැකසීම කළ පසුව දාර කපා සකස් කරගත යුතුය. දැන් පුස්කොළ ලිවීම ආරම්භ කළ හැකියි. පුස් කොළය මත ලිවීමට භාවිතා කරන්නේ පන්හිදයි. පන්හිඳ මගින් අකුරු දෙපැත්තට ලියන ආකාරය ඉගෙන ගත යුතුයි. පුස්කොළ මත ලිවීම පුරාණයේදී භාවනාවක් සේ සලකන ලදී. මෙහිදී අකුරුවල හැඩය ප්‍රමාණය සහ පේළි දෙකක් අතර දුර සමාන විය යුතුය. අකුරු වල හැඩය අනුව සිංහ ශෛලිය, හස්ති ශෛලිය, හංස ශෛලිය සහ කාක ශෛලිය ලෙස නම් කරයි. ඉන් පසුව කළු මැදීම කළ යුතුයි. ගැඩුම අඟුරු දුම්මල තෙල් වලින් පැණි පදමට දිය කර රෙදි පොට්ටනියකින් ඒ මත වී කුඩු දහයියා දමා මද පවනේ වේලා ගෙන කළු මැදීම කරයි. කළු මැදීමෙන් පසුව පුස්කොළ මත පන්හිඳෙන් එබී සටහන් වූ අකුරු පැහැදිලිව මතුවී පෙනේ. අවශ්‍ය තැන්වල ලියවැල් සහ චිත්‍ර රටා යොදාගනිමින් පුස්කොළ කලාත්මක කරගැනීමට පුළුවනි.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

 
views

1095 Views

Comments

arrow-up