ඉහල වාෂ්පීකරණයක් සහිත ලංකාවේ වියලි කලාපය
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
22

ඉහල වාෂ්පීකරණයක් සහිත ලංකාවේ වියලි කලාපය

ඉහල වාෂ්පීකරණයක් සහිත ලංකාවේ වියලි කලාපය

ශ්‍රී ලංකාව තුළ භූගෝලීය වශයෙන් එකිනෙකට වෙනස් කලාපයන් කිහිපයක් දක්නට ලැබේ. ඒ අතුරින් ප්‍රධාන කලාපයකි ශ්‍රී ලංකාවේ වියළි කලාපය. ශ්‍රී ලංකාවේ වාරි ශිෂ්ටාචාරය ආරම්භ වූ ප්‍රදේශ ලෙස මෙම කලාපය හැඳින්විය හැකිය. ප්‍රධාන වශයෙන් උතුර උතුරුමැද නැගෙනහිර සහ ගිණිකොණ දිග ප්‍රදේශවල ද වියළි කලාපීය භූ දර්ශන දැකිය හැකිවේ.

 

දැඩි නියගය, අධික උෂ්ණත්වය, අවිනිශ්චිත සහ අඩු වර්ෂාපතනය, ඉහළ වාෂ්පීකරණය වැනි සාධක මත වියළි කලාපීය භූ දර්ශනයේ පදනම සකස් වී තිබේ. වියළි කලාපීය පරිසරයට අනුරූපව ගොඩනැගුණු මානුෂ භූ දර්ශනයක් ද දක්නට ලැබේ. පුළුල් තැනිතලා හා අතරින්පතර පිහිටි ශේෂ කඳු, වර්ෂයේ එක් කාලයකදී සිඳී යන ගංගා, උස් කඳන්, තද අරටු සහිත ගස්වලින් යුත් වනාන්තර වියළි කලාපයේ භෞතික භූ දර්ශනයේ කැපී පෙනෙන ලක්ෂණ වේ. ශ්‍රී ලංකාවේ වයඹ දිග ප්‍රදේශයේ මන්නාරම, පුත්තලම මෙන්ම ගිනිකොණ දිග ප්‍රදේශයේ හම්බන්තොට වැනි ප්‍රදේශවල පවතින ශුෂ්ක දේශගුණයට අනුරූපීව වැඩුණු තෘණ, කටු පඳුරු සහිත ළඳු කැලෑ ද වියළි කලාපීය භූ දර්ශනයේ විශේෂිත ලක්ෂණ වේ. සීගිරිය, දඹුල්ල, රිටිගල, කතරගම මෙම කලාපයේ පිහිටි ශේෂ කඳු කිහිපයක් වන අතර ශේෂ කන්දක් වූ සීගිරිය පිහිටීම අනුව පුරාණයේ සිටම ආරක්ෂක බලකොටුවක් ලෙසද මහත් ප්‍රසිද්ධියක් උසුලයි. වියළි කලාපයේ කුඩා හෙල් වැටි අතරින් ගලා බස්නා ගංගා හරස් කොට ඉදිකරන ලද වැව් ද භූ දර්ශනයේ කැපී පෙනේ. ද වර්ෂා ජලය හා මහවැලි ගංගාවෙහි ජලය මගින් මෙම වැව් වැඩි කොටසක් පෝෂණය වන අතර වාරි ජලය පදනම් කරගෙන වියළි කලාපයේ විශාල බිම් ප්‍රමාණයක වී වගා කෙරේ. වී ගොවිතැන ආශ්‍රිත ව සහල් මෝල්, සහල් පිටි ආශ්‍රිත කර්මාන්ත ද වර්තමානය වන විට බොහොමයක් බිහි වී තිබෙනු දක්නට ලැබේ.

 

සියලු පහසුකම් සහිතව සැලසුම් කරන ලද මහවැලි ජනාවාස වියළි කලාපීය භූ දර්ශනයේ කැපී පෙනෙන ලක්ෂණයක් වන අතර වර්ෂාව මත රඳා පවතින හේන් වගාව ද මෙම කලාපයේ ප්‍රධාන අංගයකි. දඬු වැට, කුඩා පැළ ,බෝග වගා කොට ඇති හේන වියළි කලාපීය භූ දර්ශනයෙහි ක්‍රමයෙන් වෙනස් වීගෙන යන ලක්ෂණයකි. වියළි කලාපීය භූ දර්ශනය තුළ යාල ,විල්පත්තු ,කුමන වැනි අභයභූමි ද සෝමාවතිය ,මාදුරුඔය, වස්ගමුව වැනි වනෝද්‍යානද දක්නට ලැබීම විශේෂත්වයකි. නිරතුරුව ජනතාව වන්දනාමාන කරන විවිධ ආගමික සිද්ධස්ථාන මෙම භූ දර්ශනයේ කැපී පෙනෙන ලක්ෂණයකි. අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය සහ චෛත්‍යය, මන්නාරමේ මඩු දේවස්ථානය, ත්‍රිකුණාමලයේ කෝනේශ්වරම් කෝවිල, කතරගම ස්කන්ධ කුමාර දේවාලය, නැගෙනහිර ප්‍රදේශවල ඉස්ලාම් දේවස්ථාන යනාදිය නිදසුන් ලෙස දැක්විය හැකි වේ. වියළි කලාපීය භූ දර්ශනයද ශ්‍රී ලංකාවට එක්කරනුයේ වෙනස්ම ආරක සුන්දරත්වයකි. එම සුන්දරත්වය අනාගත පරපුරටද උරුම කරදීම අප සතු ජාතික යුතුකමක් සහ වගකීමකි.

 

 

by Sachini Sooriyaarachchi 

Photo Source: Internet

views

7438 Views

Comments

arrow-up