වෙරළ පුරා කැස්බෑ මළසිරුරු ඇයි?
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
24

වෙරළ පුරා කැස්බෑ මළසිරුරු ඇයි?

වෙරළ පුරා කැස්බෑ මළසිරුරු ඇයි?

ලංකාව අවට මුහුදු තීරය පුරාම පරික්ෂා කළ නොහැකි තරම් විනාශ වූ කැස්බෑ සිරුරු වරින් වර හමුවී ඇති බව වාර්තා වෙනවා. පසුගියදා ගල්කිස්ස, වැල්ලවත්ත හා ගෝල්ෆේස් අවට මුහුදු තීරයෙන් මින් පෙර කිසිදාක අසන්නට නොලැබුණු ප්‍රමාණයේ මියගිය කැස්බෑ සිරුරු විශාල සංඛ්‍යාවක් විටින් විට වෙරළට ගොඩගසා තිබෙනවා. ඊට හේතුව නැගෙනහිර මුහුදු තීරයේදි ගිනි ගැනීමට පත් නිව් ඩයමන්ඩ් නෞකාව විය හැකිද? මේ ගිනි ගැනීම හේතුවෙන් බොහෝ පරිසර විද්‍යාඥයින් භයානක අනතුරු ඇගවීම් කළේ මෙයින් කාන්දු වූ හා ගිනිගත් එංජිමේ වූ බොර තෙල් හේතුවෙන් සාගර ජීවීන්ට භයානක අතුරු විපත්වලට මුහුණ දෙන්නට සිදුවන බවයි.


නිව් ඩයමන්ඩ් නෞකාවෙන් සාගරයට සිදුවු හානිය කොතෙක්දැයි පැවැසිය නොහැකි අතරම මේ වනතෙක් අදාළ නැව් සමාගම විසින් ලංකා රජයට ගෙවා ඇත්තේ රුපියල් මිලියන 442 කි. ඒ ගිනි නිවීමට වැය වු මුදල පමණි. නමුත් සාගරයට සිදුවූ හානිය මුදලට ඇස්තමේන්තු කළ නොහැකි බරක් බව පසක් වන්නේ මෙවන් සිදුවීම් වාර්තා වන විටයි.


මෙහි කාන්දු වූ තෙල් මීටර 2 ක ඝණකමින් හා මීටර් 400 ක පළලින් යුතු බවද අධිකරණයේදී අනාවරණය විය. සමුද්‍රීය දූෂණ වැළැක්වීමේ පනත යටතේ ඔවුන් මෙහි වරද පිළිගතහොත් නීතියෙන් ඔවුන්ට දඩයක් ගෙවීමට සිදු වෙනවා. එය රුපියල් මිලියන 15-30 ත් අතර දඩයක් විය හැකියි. එය ලබා ගැනීමෙන් අනතුරුව නීතිමය ක්‍රියාමාර්ග හරහා සමුද්‍ර දූෂණයට වන්දි ලබා ගැනීම සිදු කළ යුතුයි. රුහුණු විශ්වවිද්‍යාලය, මොරටුව විශ්වවිද්‍යාලය මෙන්ම නාරා ආයතනය එක්ව ඒ සඳහා අවශ්‍ය වාර්තාව සැකසීම කෙරෙනවා.
 


කැස්බෑවන් ලෙහෙසියෙන් මැරෙන සත්ත්ව විශේෂයක් නොව ඔවුන් අවුරුදු 150 කට වඩාත් ජීවත් වන බව වාර්තා වෙනවා. වනජීවි නිලධාරින් සඳහන් කරන්නේ මෙසේ එකවර විශාල පිරිසක් කැස්බ‍ෑවුන් මරණයට පත්විම දැඩි අවධානයට යොමු කළ යුතු කරුණක් බවයි. සාමාන්‍යයෙන් කැස්බෑවුන් ගල්පර වල හැපී හෝ ටෝලර් යාත්‍රාවල හැපි හෝ මුහුදු කරන්ට් වැදීම නිසා හෝ වෙනයම් කරුණක් මත මරණයට පත්විය හැකි වුවත් මෙලෙස විශාල පිරිසක් වෙරළට ගොඩ ගසා තිබුණු අවස්ථාවක් මීට පෙර උදාවී නැත. ලොව කැස්බෑ විශේෂ 8 ක් ලංකාවේ ඇති අතර එයින් ලංකාව නිජබිම කරගත් විශේෂ ඇත්තේ 5 ක් පමණි. ලංකා මුහුදු තීරයට ඔවුන් පැමිණෙන්නේ ප්‍රජනන කාර්යය නිසාය. මොවුන්ගේ ආයු කාලය අවුරුදු 150 ක් පමණ වන අතර මොවුන් ලංකා මුහුදු තීරයට පැමිණෙන්නේ බිත්තර දැමීම සඳහාය. මේ කාලය වන විට කැස්බෑවුන් බිත්තර දැමීම සඳහා නොගැඹුරු මුහුදු තීරයට පැමිණෙන අතර අප්‍රේල් මාසය එයින් උච්චතම අවධියයි. බොහෝ විට මාළු දැල්වල පැටලී කැස්බෑවන් මිය යන අතර සමහර අවස්ථාවල මාළු බාන්නන් විසින් පැටළුණු දැල් ඉවත් කරන්නට නොහැකිව ඔවුන්ගේ අත් පා කපා මුහුදට දානවා. නෞකාවේ තෙල් කාන්දුවකින් මේ දේ සිදුවුණා යැයි සැක කලත් එය තවමත් නිශ්චිතව තහවුරු කරගෙන නොමැත. ඇතැම් විට එය සතුන් අතර බෝවූ රෝග තත්වයක්ද විය හැක.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

760 Views

Comments

arrow-up