සත්ත්ව ඇසින් ලෝකය පෙනෙන හැටි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
28

සත්ත්ව ඇසින් ලෝකය පෙනෙන හැටි

සත්ත්ව ඇසින් ලෝකය පෙනෙන හැටි

එක් ඇසක් හෝ ඇස් කිහිපයක් සහිත, වර්ණවත් හෝ කළු සහ සුදු දෘෂ්ටියක් සහිත ආදී ලෙස විවිධාකාරයේ පෙනීම් සහිත ජීවින් සත්ත්ව ලෝකයේ ඇත. කෙසේ නමුත් මිනිසාට සමාන දෘෂ්ටියක් අත් විඳින්නේ සත්ත්ව විශේෂ ස්වල්පයක් පමණි. විවිධ සතුන්ගේ දෘශ්‍ය පද්ධතිවල කොටස් හා පිහිටීම විශ්ලේෂණය කිරීමෙන්, ඔවුන්ගේ ඇස්වලින් ලෝකය කෙබඳු ආකාරයට දිස් වේ දැයි යන්න පිළිබඳව  අපට අවබෝධයක් ලබා ගත හැකිය.

 

සාමාන්‍යයෙන් ඇස්වල කේතු සෛල ලෙස හැඳින්වෙන වර්ණ හඳුනාගැනීමේ සෛල පවතින අතර එම සෑම කේතු සෛල වර්ගයකම ආලෝකයේ නිශ්චිත තරංග ආයාමයන්ට සංවේදී වර්ණකයක් අඩංගු වේ. බැවින් යම් සත්ත්ව විශේෂයක් දකින වර්ණ පරාසය රඳා පවතින්නේ ඔවුන්ගේ ඇසේ ඇති වර්ණ සංවේදී කේතු සෛල වර්ග ගණන සහ ඔවුන්ගේ මොළයේ සැකසීම මත ය. මිනිසාට මෙම කේතු සෛල වර්ග 3ක් ඇති නමුත් බල්ලන්ට ඇත්තේ ඉන් දෙකක් පමණි. ඔවුන්ගේ කේතු සෛල කහ සහ නිල් සිට පාරජම්බුල දක්වා පරාසයේ වූ කිරණ ග්‍රහණය කර ගැනීම සඳහා විශේෂිත වේ. එබැවින් අඩු කේතු සෛල වර්ග ගණනක් සමඟ, බල්ලන්ට මිනිසාට හැකි තරම් වර්ණ අතර වෙනස හඳුනාගත නොහැක.

 

 

ගෙවත්තේ දක්නට ලැබෙන  ගොළුබෙල්ලන්ගේ දෘෂ්ටිය සැලකීමේදී ඔවුන්ගේ ඇස්වලට ඉතා තියුණු හා වර්ණවත් පෙනීමක් නොමැති වුවද, වේගයෙන් ගමන් ගන්නා තවත් ගොළුබෙල්ලෙකු හෝ තම වෙත ළඟා වන විලෝපිකයෙකු හොඳින් හඳුනාගැනීමේ හැකියාව ඔවුන්ට ඇත. තවද ගොළුබෙල්ලන්ට ආලෝකයේ විවිධ තීව්‍රතාවයන් හඳුනා ගැනීමට ඇති හැකියාව ඔවුනට අඳුරු ස්ථාන කරා ගමන් කිරීමට උපකාරී වේ.

 

අඩු ආලෝක තත්ත්වවලදී මිනිසුන්ට වර්ණ හොඳින් පෙනෙන්නේ නැත. මෙයට හේතුව මිනිස් ඇසේ ඇති කේතු සෛල සාපේක්ෂව දීප්තිමත් ආලෝක තත්ත්වයන්හිදී වඩාත් හොඳින් ක්‍රියාත්මක වීමයි. මිනිස් ඇස්වල සැරයටි සෛල ලෙස හැඳින්වෙන තවත් සෛල විශේෂයක් ඇත. ඒවා අඳුරු ආලෝක තත්ත්වවලදී පෙනීම සඳහා උපකාරී වෙන නමුත් එම  සෛල සතුව ඇත්තේ එක ආලෝක සංවේදී වර්ණකයක් පමණක් බැවින් රාත්‍රියේදී මිනිස් දෘෂ්ටිය අළු පැහැයට හුරු පැහැයන්ගෙන් දිස්වේ.

 

 

නමුත්  හූනන් වැනි සතුන්ට මිනිසා මෙන් නොව රාත්‍රියේදී ඉතා හොඳ වර්ණවත් දෘෂ්ටියක් ඇත. මෙය නිශාචර දඩයම්කරුවෙකුට ඉතා ප්‍රයෝජනවත් වේ. හුනන්ගේ ඇස් පරිණාමය වී ඇත්තේ රාත්‍රියේදී මිනිසාට වඩා 350 ගුණයකින් වර්ණවලට සංවේදී වන අයුරින්ය.

 

පාෂාණවලට හෝ කොරල්වලට ඇලී පවතින  බෙල්ලන් වැනි සතුන් ලෝකය දකින්නේ ඔවුන්ගේ මෘදු සිරුරේ දාරයේ ඇති කුඩා සිදුරු අකාරයේ ඇස් සිය ගණනක් හරහාය. එම ඇස්වල පටු විවරයක් ඇති අතර කාචයක් නොමැත. ඔවුන් විවිධ වර්ණ තුනකට සංවේදී වුවද, එම තොරතුරු ඒකාබද්ධ කිරීමේ හැකියාවක් නොමැත. එම නිසා ඔවුන් වර්ණවත් නමුත් අපැහැදිලි රූප දකී. කෙසේ වෙතත්, ඔවුන්ගේ ඇස්වලට අවට චලනයන් හඳුනා ගැනීමට හැකි වන අතර එමඟින් විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීමේ හැකියාව ඇත.

 

 

 

 

 

by D.S. Ishanthi

Photo source : Internet

views

948 Views

Comments

arrow-up