චීනයේ මකර ඔරු තරඟය

ලෝකයේ වැඩිම ජනගහනය සහිත රට හැටියට චීනය සැලකෙයි. එහි වර්තමාන ජනගහනය බිලියන 1.4කි. ජනගහනය අතින් ලොව ඉදිරියෙන්ම පසුවන රට චීනය වන්නා සේම සංස්කෘතික විවිධත්වය හා විචිත්‍රත්වය අතින් ලොව පෙරමුණේම පසුවන රටක් හැටියට ද චීනය නම් දරයි. මෙහි ඒ තරමටම සංස්කෘතිය විවිධය. විශිෂ්ට සංස්කෘති සහිත බොහෝමයක් රාජ්‍යයන්හි එම සංස්කෘතීන් ප්‍රධාන ආගම් මත පදනම් වන ආකාරයක් දක්නට ලැබුණ ද චීනයේ තත්ත්වය වෙනස්ය. එහි සියයට අසූවකට වඩා වැඩි ජනතාවකට ආගමක් නැත. චීන සංස්කෘතියෙහි නිශ්චිත ආගමික රූපයක් නැතත් චීන ජනතාවගේ ඇදහිලි හා විශ්වාසයන්, හරයන් හා අගයයන් එහි නොඅඩුව දක්නට ලැබෙයි. මෙහි ඇති අනෙක් වැදගත් කාරණය නම් බොහෝ රටවල සාම්ප්‍රදායික සංස්කෘතික අංග නූතනත්වය හමුවේ හැකිළී යන හෝ අභාවයට යන හෝ තත්ත්වයක් දක්නට ලැබුණ ද චීනයේ සාම්ප්‍රදායික සංස්කෘතික අංග නූතනත්වය සමගින් නව මුහුණුවරකින් පවතී.
චීන ජනතාවම ප්‍රාදේශීයව පැන නගින සුළු වෙනස්කම් සහිතව සමරන ප්‍රධාන සංස්කෘතික උත්සවයක් වන්නේ මකර ඔරු උත්සවයයි. ඩුඅන්වූ යනු මේ සඳහා යෙදෙන තවත් නමකි.චීනයේ ඉපැරණි ලුනන් නමැති දින කැලැන්ඩරයට අනුව පස් වැනි මස පස් වැනි දිනට මේ උත්සවය යෙදෙයි. චීනයේ සාම්ප්‍රදායික සිරිත් විරිත් හා ක්‍රියාකාරකම් රැසකින් හැඩගැන්වෙයි.
මෙම මකර ඔරු තරග උත්සවයෙහි එන ප්‍රධානම අංගය වන්නේ මකර ඔරු තරග පැවැත්වීමයි. ගංගාවල මේ තරග පවත්වන අතර බොහෝවිට ඒවා සතියක කාලයක් පුරාවට පවත්වයි. ඒ ඒ පළාත්වල සිටින දක්ෂ ඔරු පදින්නන් එකතුවී ජාතික මට්ටමින් තරග පවත්වයි. චියු යුආන් කවියාගේ උපත සිදුවූ හබෙයි පළාතෙහි මේ තරග වැඩි වශයෙන් දැකිය හැකිය.
මේ උත්සවයෙහි එන තවත් විචිත්‍රවත් අංගයක් නම් “වූ සයි සොන්” ය. එනම් රතු, කොළ, කහ, කලු, නිල් යන වර්ණ පහෙන් සමන්විත නූල් පහක් ගෙන රටාවකට එකට අමුණා අතෙහි පැලඳීමය. එසේ කිරීමෙන් ලෙඩ රෝගවලින් ආරක්ෂා වීමටත් ජීවිතවලට යහපත උදා කරගැනීමටත් හැකිවන බවට චීන ජාතිකයෝ විශ්වාස කරති. මෙහි එන තවත් ක්‍රියාකාරකමක් නම් ෂින්හුන් නමැති මත්පැන් වර්ගය පානය කිරීමයි. ඒ සඳහා වර්තමානයේදී රිඅල්ගාර් නමැති වයින් වර්ගය ද සුලභව යොදා ගනියි. මෙම මත්පැන් වර්ගය පානය කිරීමෙන් ද ලෙඩ රෝගවලින් ආරක්ෂා වී යහපත උදා කරගත හැකි බවට ඔවුහු විශ්වාස කරති. වැඩිහිටියෝ සිය දරුවන්ගේ නළල් මත මේ මත්පැන් තැවරීමට ද අමතක නොකරති. මකර ඔරු තරග අවධියේදී දැකිය හැකි ප්‍රධාන ක්‍රියාකාරකම් අතර එකක් වන්නේ සොන්ස නමැති ඇලෙනසුලු පිරමීඩාකාර බතක් සාදා එය ආහාරයට ගැනීමය. අතීතයේදී මේ සොන්ස ගංදියට දැමීම සිදුවුවද වර්තමානයේදී එය සුලභව සිදුවන්නක් නොවෙයි. චීනයේ උතුරු පළාත් වැසියන් සොන්ස පැණි රසට සාදන විට දකුණු පළාත් වැසියන් එය සාදන්නේ ලුණු රසටය. මස් හෝ බිත්තර හෝ සමඟය. ඒ හැරුණු විට සොන්ස සාදන විදියෙහි විශාල වෙනස්කම් ප්‍රාදේශීයව දක්නට නොලැබෙයි. චීන මකර උත්සවය එරට ජනතාව මහත් උත්සවශ්‍රීයෙන් සමරයි.
by Dilki Shamani
Photo source : Internet
1002 Views
Comments