සීඝ්‍රයෙන් වඳ වී යන ඔරංඋටංලා

ලංකාවේ ජීවත් වන අපට ඔරංඋටංලා දක්නට ලැබෙන දෙහිවල සත්වෝද්‍යානයේදී විතරයි. නමුත් සත්වෝද්‍යානයේදී වුවද මේ අපූරු සත්වයින් දකින කෙනෙකුට ඔවුන් පිළිබඳ ඇතිවන්නේ ඉතාම ප්‍රසාදජනක හැඟීමක්. ඒ ඔවුන්ගේ පෙනුම සහ හැසිරීම නිසයි. ඔරංඋටංලාගේ ඉරියව් බොහෝ විට අප තුළ මතු කරන්නේ හාස්‍ය රසයක්. නමුත් මේ වන විට ඔරංඋටංලා ගැන අසන්නට ලැබෙන්නේ එතරම් සතුටුදායක ආරංචියක් නම් නොවේ. ඇතැම් පාරිසරික විද්‍යාඥයන්ට අනුව එළැඹෙන දශකය ඇතුලත මේ දුර්ලභ සත්ව කොට්ඨාශය මුළුමනින්ම අතුරුදහන් වී යාමට අවධානමක් තියෙන බව වාර්තා වෙනවා. ඒ සැබැවින්ම කනගාටුදායක තත්ත්වයක්. යම් ලෙසකින් මේ දශකය තුළ ඔවුන් වඳවී නොගියොත් තව දශක දෙක තුනක් තුළ අනිවාර්යෙන්ම ඔරංඋටංලා වඳ වී යන බවට අනාවැකි පළ වෙනවා.
මේ වන විට ඔරංඋටංලා ජීවත් ජීවත්වන්නේ ලෝකේ එකම රටක විතරයි. ඒ ඉන්දුනීසියාවේ වනාන්තර වල. විශේෂයෙන්ම බෝනියෝ සහ සුමාත්‍රා දූපත් වල ඔවුන් දැකගත හැකි වෙනවා. නමුත් මෙම ප්‍රදේශවල සිදුවෙමින් ඇති වනාන්තර විනාශය සහ වෙනත් මිනිස් ක්‍රියාකාරකම් නිසා මෙම සතුන් වේගයෙන් වඳවෙමින් ඇති බවට දැන් අනතුරු ඇඟවීම් තියෙනවා.
නවතම සංඛ්‍යා ලේඛන වලට අනුව දැනට ඉතිරිව සිටින්නේ ඔරංඋටංලා ලක්ෂයකටත් අඩු ප්‍රමාණයක්. වසර කිහිපයකට පෙර ඉන්දුනීසියානු රජය විසින් කරන ලද සමීක්ෂණයකට අනුව හෙළිවී තියෙන්නේ ඔරංඋටංලා අසූ දාහකට කිට්ටු සංඛ්‍යාවක් සිටින බවයි. මේ අතර ඇතැම් පරිසර ආයතන පෙන්වා දෙන අන්දමට වසරකට මේ සතුන් දෙදහක් තුන්දාහක් අතර සංඛ්‍යාවක් මරා දමනු ලබනවා. මෙලෙස ඔරංඋටංලා වඳ වීමට බලපා ඇති ප්‍රධානම හේතුව වන්නේ වනාන්තර විනාශය මස් පිණිස මැරීම ගොවිතැන් ආදී ආරක්ෂා කර ගැනීම සඳහා මැරීම ඔරංඋටංලා වෙළඳාම වැනි කාරණා . ඔරංඋටංලා පැටවුන් සුරතලුන් ලෙස ඇති කිරීම ජනප්‍රිය විනෝදාංශයක් වී ඇති නිසා බොහෝ දෙනෙක් එම පැටවුන් අල්ලාගෙන ගෙනවිත් විකිණීමේ ජාවාරම යෙදෙනවා. මේ ආකාරයෙන් පැටවුන් වනාන්තරයෙන් අල්ලාගන්නේ උන්ගේ මව්වරුන් මරා දැමීමෙන්. ඒ නිසා වනාන්තරවල සිට අල්ලාගෙන පැටවුන් බොහෝ විට මරණයට පත්වෙනවා. ඔරංඋටං පැටවකු විකිණිම සඳහා ගෙන එන විට අතරමගදී තවත් පැටවුන් කිහිපදෙනෙකු මිය යනවා. මව්වරුන්ගෙන් වෙන් කිරීම නිසා ඇතිවන කම්පනය නිසාද ඇතැම් පැටවුන් මරණයට පත්වනවා. විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වීමෙන්ද බොහෝ දෙනෙක් මිය යන බව සඳහන් වෙනවා. මිනිසුන්ට වැළඳෙන බොහෝ රෝගාබාධ ඔරංඋටංලාට වැලදෙන නිසා ඔවුන් මිනිසුන් අතරට පැමිණීමෙන් පසු රෝගී වීමට වැඩි ඉඩකඩක් තියෙනවා. ජානමය ලෙස සලකා බැලීමේදී මිනිසුන් සහ ඔරංඋටංලා අතර සියයට 97 ක සමානතාවයක් තියෙන බව විද්‍යාත්මකව සොයාගෙන තියෙනවා. මේ අනුව නොබෝ දිනක් යන විට ඔරංඋටංලා ඉතිහාසයට එක් වුණු තවත් සත්ත්ව කොට්ඨාශයක් බවට පත්වේවි.
by Dilki Shamani
Photo Source: Internet
652 Views
Comments