කොරෝනා ඖෂධ කඹ ඇදීම
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
18

කොරෝනා ඖෂධ කඹ ඇදීම

කොරෝනා ඖෂධ කඹ ඇදීම

ලෝකයේ බලවත් රටවල් හා වෛද්‍ය පර්යේෂණ සංවිධාන විශාල ප‍්‍රමාණයක් කොවිඩ් වයිරසය සඳහා එන්නතක් සොයා ගැනීමට ක‍්‍රියා කළේය. එය හුදෙක් පර්යේෂකයන්ට පමණක් වූ සීමා වූ කාර්යයක් වූයේ නැත. ධනය ඇති රටවල් සහ පරිත්‍යාගශීලීහු එකී වැදගත් කටයුත්ත සඳහා ධනය පරිත්‍යාග කළහ. දේශසීමා රහිතව දැනුම හා අත්දැකීම් බෙදා හදා ගත්හ. පර්යේෂණ සාර්ථක වුවහොත් සොයා ගන්නා එන්නත වාණිජ වශයෙන් නිපදවන්නට රටවල් ගණනාවක් යන්ත‍්‍ර සූත‍්‍ර සූදානම් කළහ. ඉන්දියාව හා ඉන්දුනීසියාව එහි පෙරමුණ ගත් බව සඳහන්ය.

 

ලෝක සෞඛ්‍ය සංවිධානය පසෙකට වී සිටියේ නැත. අලුත් බෙහෙතක් නිපදවුවහොත් එය සමාජ සාධාරණත්වය අනුව ලෝකයේ ලොකු පොඩි සෑම සියලුදෙනාටම හැකි පමණින් බෙදාදෙන්නට සැලසුම් සකස් කළහ. දැන් කොවිඩ් එන්නත ලබාදීම ගැන සාකච්ඡා ආරම්භ වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය පළමු වටයේදී අවදානමක් ඇති ජනකොටස තෝරා එන්නත්කරණය වැදගත් බව පෙන්වා දී ඇති අතර ශ‍්‍රී ලංකාවට එන්නත් මාත‍්‍රා මිලියන පහක් වෙන්කර තිබේ. එය ජනගහනයෙන් සියයට විස්සකට ප‍්‍රමාණවත් වනු ඇත.


කොවිඩ් මරණය අභිමුවෙහි සිටින අවස්ථාවක එයින් ගැලවෙන්නට එන්නතක් සොයා ගතහොත් ඕනෑම මිලක් ගෙවා අයිතිකරගන්නට සමත් සුපිරි ජනන කොටස් ලෝකයේ ජීවත් වෙති. පැවැත්ම ආත්මාර්ථකාමීය. අනෙක් පුද්ගලයාගේ හුස්ම උදුරාගෙන ජීවත්විය හැකි මොහොතක එයට ද සූදානම් වනු නිසැකය. එබඳු පරිසරයක සෑම රටකටම, ප‍්‍රමුඛ අවශ්‍යතා සලකා කොවිඩ් ප‍්‍රතිකාර සැපයීමට රාමුවක් සකස් කිරීම වැදගත් තීරණයකි.

 


නමුත් මේ පිළිබඳ එකඟතාවයක් නැතිකම රටට අවාසනාවකි. ඖෂධ මාෆියාව රට පුරා කතාබහට ලක්ව ඇති මාතෘකාවක් වී තිබේ. විවිධ පාර්ශ්වය එහි කොටස්වී තිබෙනු දක්නට ලැබේ. ඖෂධ ආනයනයට ටෙන්ඩර් කැඳවීම මගඩියකි. ගෙන්වන ඖෂධ බාල ඒවාය. ලෝකයේ කොතැන ඉහළම අනුමැතිය ඇති බෙහෙතක් නමුත් ඒවා ගෙන එන්නට කලින් මෙරට වෛද්‍යවරු ඒවා ගැන පරීක්ෂණ කර අනුමැතිය සැපැයිය යුතුය. නැත්නම් ආනයනික බෙහෙත්වල දක්වන ජාත්‍යන්තර ප‍්‍රමිතිය සැකසහිතය. ඒවායෙන් මහා ධනයක් කොල්ලකන අතර අතිවිශාල දූෂණ සිදුවෙයි. ඉන් අවසානයේ සිදුවන එක දෙයක් තිබේ. කැපවීමෙන් යමක් කරන්නට, රටක් ගලවා ගන්නට දිවා රාත‍්‍රී කැපවන පිරිස අධෛර්යයට පත්වනු ඇත. මෙරටට සේවයක් කරන්නට වෙහෙසීමේ පලක් නැති බව හිතන්නට ඉඩ තිබේ. මාධ්‍ය සහ සමාජ මාධ්‍ය අවුලවන මෙකී කිසිම පදනමක් නැති ව්‍යාකූලභාවය අවසානයේ ඉතා භයානක තත්ත්වයක් නිර්මාණය විය හැකිය. පටු ආකල්පයෙන් කරන අවලාද අවංක අභිලාශයන්ද අධෛර්යයට පත් කරන්නට ඉඩ තිබේ. එබැවින් මෙම තත්වයන් මිදීම සඳහා පෞද්ගලික පටු ලාභ ප්‍රයෝජන නොසලකා සාමූහිකව පොදු අරමුණ වෙනුවෙන් කැපවිය යුතු කාලය එළඹ තිබේ.

 

 

 

 

 

 

by Dilki Shamni

Photo source : Internet

views

629 Views

Comments

arrow-up