සමනල් පිහාටුවල රටා තියෙන්නේ ලස්සනටද?
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
28

සමනල් පිහාටුවල රටා තියෙන්නේ ලස්සනටද?

සමනල් පිහාටුවල රටා තියෙන්නේ ලස්සනටද?

අප අවට පරිසරයේ දක්නට ලැබෙන බොහෝ සමනල හා සලබ විශේෂයන් සතුව ඉතා සිත් ඇදගන්නා සුළු අලංකාර පියාපත් යුගලයන් දක්නට ලැබේ. නමුත් ඒවායේ මෙම අලංකාරය පිටුපස සැඟවී ඇති වැදගත්ම ප්‍රයෝජනය නම්, එම සතුන් තම පියාපත්වල ඇති වර්ණවත් හා විස්තීර්ණ රටා මඟින් ඔවුන් ඩැහැ ගැනීමට පැමිණෙන විලෝපිකයින්ගෙන් ආරක්ෂා වීමයි. 

 

මෙලෙස පියාපත්වල වර්ණවත් වටකුරු ඇස් වැනි රටා දක්නට ලැබෙන සමනල හා සලබ විශේෂ බොහෝය. මෙම සලකුණු බොහෝ විට ව්‍යාජ ඇස්  ලෙස හැඳින්වෙන අතර විවිධාකාර වූ වර්ණවලින් හා ප්‍රමාණවලින් දක්නට ලැබේ. මෙම ව්‍යාජ ඇස් රටා සමනලයන් හා සලබයන්ගේ පියාපත් මත පමණක් නොව ඔවුන්ගේ කීට අවස්ථාවේ ශරීර මතද දක්නට ලැබේ. මේවා බොහෝ විට  වටකුරු වන අතර එකිනෙකට වෙනස් කැපී පෙනෙන වර්ණවලින් කේන්ද්‍රයක් වටා ඇති මුදු වැනි හැඩවලින් සෑදී ඇත. මෙම සතුන් එවැනි රටා සහිතව පරිණාමය වී ඇත්තේ ඔවුන්ගේ විලෝපිකයන්ගෙන් ආරක්ෂා විමටය.

 

 

එක් එක් සමනල් සහ සලබ විශේෂයන් ඔවුන්ගේ මෙම වර්ණවත් ව්‍යාජ ඇස් රටා තම ආරක්ෂාව සඳහා එකිනෙකට වෙනස් ආකාරවලින් භාවිතා කරයි. විලෝපික විරෝධී ආරක්ෂකයක් ලෙස ඒවා ක්‍රියා කරන ප්‍රධාන ආකාර දෙකක් තිබේ.

 

පළමු ආකාරයට අනුව නම් මෙම ව්‍යාජ ඇස් පරිණාමය වී ඇත්තේ තම සතුරන් බිය ගැන්වීම සඳහා ය. මෙම ව්‍යාජ ඇස් විලෝපිකයන්ගේ ඇස් හා සමාන ස්වරුපයක් ගන්නා බැවින් මෙම අවස්ථාවේ දී විලෝපිකයින්ට සිතෙන්නේ ඔවුන් සමනලයෙකුට හෝ සලබයෙකුට වඩා විශාල මෙන්ම භයානක සතෙකුට මුහුණ දෙන බවයි. එමෙන්ම සමහර සමනලුන් සහ සලබයන් ඔවුන්ගේ ව්‍යාජ ඇස් සහිත පියාපත් සාමාන්‍යයෙන් හකුලාගෙන සිටින අතර විලෝපිකයෙකුගේ ප්‍රහාරයකදී එම පියාපත් එක්වරම විහිදා විලෝපිකයා බිය වද්දයි.

 

දෙවෙනි ආකාරයට අනුව නම් මෙම බියකුරු ඇස් රටා සහිත පියාපත්වල තවත් ප්‍රයෝජනයක් වන්නේ විලෝපිකයින්ගේ අවධානය වෙනතකට යොමු කිරීමට ඇති හැකියාවයි. මෙම සලකුණු ඔවුන්ගේ පියාපත්වල පිහිටන බැවින් එමඟින් කෘමියාගේ ශරීරයේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍යම නොවන කොටස් එනම්  පියාපත් වල දාර ආදී ස්ථාන ඉලක්ක කර ගැනීමට විලෝපිකයා පෙළඹේ. එසේ නොමැතිව විලෝපිකයෙක් කෘමියාගේ හිසට පහර දීමක් සිදු කළහොත් එය එම සමනලයා හෝ සලබයා ක්ෂණිකව මරා දමයි. එම නිසා ඔවුන් තම ශරීරයේ වැදගත් කොටස් වලින් මඳක් වෙනතකට විලෝපිකයාගේ අවධානය යොමු කරයි. කැඩුණු පියාපත් සහිතව වුවද කෘමියාට දිවි ගලවා ගැනීමේ වැඩි අවස්ථාවක් මින් ලැබේ.

 

 

ඒ අනුව සොබාදහමේ හා පරිණාම ක්‍රියාවලියේ සුවිශේෂී ප්‍රතිඵලයක් වන සමනල හා සලබ පියාපත්වල දක්නට ඇති මෙම රටා ඔවුනට අනෙකුත් විවිධ සත්ත්ව විශේෂ හමුවේ නොනැසී තම පැවැත්ම තහවුරු කර ගැනීමට හේතු වී තිබේ.  

 

 

 

 

 

 

 

by D.S. Ishanthi

Photo source : Internet

views

618 Views

Comments

arrow-up