පෘථිවි ගෝලය පිළිබඳව ඔබ දැනුවත්ද
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
22

පෘථිවි ගෝලය පිළිබඳව ඔබ දැනුවත්ද

පෘථිවි ගෝලය පිළිබඳව ඔබ දැනුවත්ද

අප ජීවත්වන පෘථිවි ගෝලය ස්වභාව ධර්මයේ අපූරු නිර්මාණයක් ලෙස සැලකිය හැකිය. දැනට ලැබී ඇති තොරතුරු අනුව වායුව හා ජලය පවතින ජීවින්ට හිතකර පරිසරයක් ඇති එකම ග්‍රහලෝකය පෘථිවියයි. පෘථිවිය තම අක්ෂය වටා කරකැවෙමින් සූර්යයා වටා ද ගමන් කරන අතර තම අක්ෂය වටා යන ගමන භ්‍රමණය ලෙසත් සූර්යයා වටා ගමන් කිරීම පරිභ්‍රමණය ලෙසත් හඳුන්වනු ලැබේ.

 

පෘථිවිය තම අක්ෂය වටා භ්‍රමණය වීමට ගතවන පැය 24ක කාලය දවසක් ලෙසද පෘථිවිය සූර්යයා වටා පරිභ්‍රමණය වීමට ගතවන දින 365ක කාලය වසරක් ලෙස ද සලකනු ලැබේ. එහෙත් ඇත්තවශයෙන්ම පෘථිවිය සූර්යයා වටා පරිභ්‍රමණය වීමට දින 365ක් සහ පැය හයක කාලයක් ගත වන හෙයින් වසර හතරකට වරක් පැය 6 බැගින් එකතු කොට සම්පූර්ණ දිනයක් සේ සලකා එම අවුරුද්ද අධික අවුරුද්දක් ලෙස ගණන් ගැනේ. අතීතයේ දී පෘථිවියේ හැඩය පිළිබඳ විවිධ අදහස් පැවතුනද පෘථිවිය ගෝලාකාර වස්තුවක් බව වර්තමානයේ දී නිශ්චිතවම හඳුනා ගෙන ඇත. පෘථිවිය ගෝලාකාර වස්තුවක් ලෙස සැලකුවද එය පූර්ණ ගෝලයක් නොවේ. පෘථිවිය ධ්‍රැවාසන්නයෙදී පැතලි ස්වභාවයක් ගැනීමත් පෘථිවි ගෝලයෙන් සමක පරිධිය ධ්‍රැව පරිධියට වඩා විශාල වීමත් ඊට හේතු වේ. සමකයෙන් උතුරු කොටස උතුරු අර්ධගෝලය ලෙසත් දකුණු කොටස දකුණු අර්ධගෝලය ලෙසත් හැඳින්වේ. එමනිසා සමකයට උතුරෙන් පිහිටි රේඛා උතුරු අක්ෂාංශ ලෙසද සමකයට දකුණින් පිහිටි රේඛා දකුණු අක්ෂාංශ ලෙසද හඳුන්වනු ලැබේ. උතුරු අක්ෂාංශ අංශක 90 උත්තර ධ්‍රැවය වන අතර, දකුණු අක්ෂාංශ අංශක 90 දක්ෂිණ ධ්‍රැවයයි. බ්‍රිතාන්‍යයේ ග්‍රිනිච් නගරය හරහා ඇඳ ඇති අංශක 0 රේඛාව ග්‍රිනිච් මධ්‍ය දේශාංශයයි. එම රේඛාවෙන් බටහිර ඇති රේඛා බටහිර දේශාංශ ලෙසද නැගෙනහිර ඇති රේඛා නැගෙනහිර දේශාංශ ලෙසද හඳුන්වයි. පෘථිවි පෘෂ්ඨයේ 71% ක් ජලයෙන්ද, 29%ක් ගොඩබිම් ප්‍රදේශ වලින්ද වැසී ඇත. ජලතල ප්‍රදේශ සාගර හා මුහුදු වශයෙන්ද ,ගොඩබිම් ප්‍රදේශ මහද්වීප හා දූපත් වලින්ද සමන්විත වේ. ගොඩබිම් ප්‍රදේශ වටා වෙරළාශ්‍රිතව දූපත් රාශියක් පිහිටා තිබේ.

 

එක් එක් මහද්වීප තුළ දේශපාලනික වශයෙන් වෙන් වූ රටවල් දක්නට ලැබෙන අතර මහද්වීපයක් වූ ඕස්ට්‍රේලියාව තනි රටකි. පැසිෆික් සාගරය, අත්ලන්තික් සාගරය, ඉන්දියන් සාගරය, ඇන්ටාක්ටික් සාගරය, සහ ආක්ටික් සාගරය පෘථිවියේ ප්‍රධාන සාගර 5 යි. ජපන් මුහුද, චීන මුහුද, උතුරු මුහුද, රතු මුහුද ,මධ්‍යධරණී මුහුද මහද්වීප ආසන්නව පිහිටි මුහුදු කිහිපයකි. කැස්පියන් මුහුද සහ එරල් මුහුද ආසියා මහද්වීපය තුළ පිහිටා ඇත. මෙවැනි කරුණු පිළිබඳව අවබෝධයක් ලබා තිබීම ඔබට යම් දිනෙක ප්‍රයෝජනවත් වනු ඇත. මක්නිසාද ඔබ අප සැම දෙනා ම ජීවත් වන්නේ මෙම අසිරිමත් පෘථිවි ගෝලය මත බැවිනි.

 

 

by Sachini Sooriyaarachchi 

Photo Source: Internet

views

3336 Views

Comments

arrow-up