ළදරුවාට දෙන රතකල්කය ගැන දැනගන්න

හෙළ වෙදකමෙහි මෙම රතකල්කයට ලබා දෙන්නේ ප්‍රමුඛස්ථානයක්. ළදරුවෙකු උපතේ සිට මව් කිරි හැර කිසිවක් නොදෙන ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කර තිබුණද ඈත අතීතයේ පටන්ම මෙය හෙළ වෙදකමෙන් පැවතෙන්නක්. අපේ ආත්තම්මලා මේ රත කල්කය බිළිදාට ලබා දීම පිළිබඳව දැඩි විශ්වාසයකින් පසු වනවා. අද සමාජයේ මෙම රත කල්කය නොදිය යුතු යැයි සලකා බැහැර කරන්නන්ද ඒ පිළිබඳව සොයා බලා එය බිළිදාට ලබා දෙන්නන්ද සිටියි. ( සැ. යු ඔබේ දරුවාට ශාකසාර ඖෂධ ලබා දීමට පෙර ඔබේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයාගේ උපදෙස් ලබා ගත යුතු බව මතක තබා ගන්න. )
රතකල්කයට අයත් වන්නේ මොනවාද ?
- කොල්ලු
- වදකහ - මදක් කබලෙහි බැද කුඩු කර ගත යුතුයි
- වැල්මි
- රත් හදුන් හා සුදු හදුන්
අඩංගු වනවා. මෙම ඖෂධ සමඟම ඒ ඒ ප්‍රමාණ වලින් සම සමව සහිඳ ලුණු හා දෙහි යුෂද යොදා අඹරා ගත යුතුයි. මෙය පිරිසිදුව පිළියෙල කරමින් සුළං නොවදින භාජනයකට දමා කල්තබා ගැනීමටද හැකියි. විවිධ ප්‍රදේශවල අමතර ඔසුද මෙම මිශ්‍රණයට එක් කරනවා.
රතකල්කය දෙනු ලබන ආකාරය
දරුවාගේ වයස, බර, රෝගී තත්වය අනුව වෙනස් වන නිසා සෑම විටම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සුදුසු වෙනවා. ( සැ. යු මාස 6 ට අඩු ළදරුවන්ට මව්කිරි පමණක් දීම සුදුසු බව වෛද්‍යවරුන් නිර්දේශ කරන නිසා අළුත උපන් බිළිඳුන්ට මෙය ලබා දීම නිර්දේශ කළ නොහැකි වෙනවා )
වයස අවුරුදු 1 ට වඩා වැඩි දරුවන්ට රතකල්කය ලබා දීම
- දරුවාට පිටි කිරි ලබා දෙන්නේ නම් එයට රතකල්කය කලවම් කර දෙන්න
- කොත්තමල්ලි කබලේ බැඳ තම්බා එයට රත්මල් තම්බාගත් වතුරද එක් කොට රතකල්කය කලවම් කර ලබා දෙන්න
- මී පැණි ස්වල්පයකට රතකල්කය කලවම් කර ලබා දෙන්න ( සැ.යු මේ කුමන ආකාරයට ඔබ රතකල්කය දුන්නත් කොත්තමල්ලි ඇටයක ප්‍රමාණයට රතකල්කය ගත යුතු අතර, වයස අවුරුද්දට අඩු දරුවන්ට මී පැණි දීම නුසුදුසුයි )
රතකල්කය ලබා දෙන ආකාරය
සාමාන්‍යයෙන් දරුවාව නාවා උදේ වරුවේදී මෙය ලබා දීම සිදු කරනවා. දිනකට වරක් හෝ දෙවරක් සතියක් හෝ දෙකක් දිගටම ලබා දීම සුදුසුයි. මෙය මවටත් ලබා ගත හැකියි එහි කිසිදු ගැටළුවක් නැහැ. එහෙත් ආහාර හෝ ඖෂධ අසාත්මිකතා ඇති දරුවන්ට මෙය ලබා දීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
රතකල්කයෙහි ගුණ
දේශීය වෛද්‍යවරුන්ට අනුව රතකල්කය මගින් විවිධ ප්‍රතිලාභ ලැබේ
- ආහාර නිසියාකාරව දිරවීම
- සමේ රෝග තත්වයන්ගෙන් ආරක්ෂා කරවීම
- සිරුරෙහි ලේ ධාතුව පිරිසිදු කිරීම
- ප්‍රතිශක්තීකරණය ඉහළ නැංවීම
- බඩ පිපුම නැති කිරීම
- බඩගිනි ඇති වීමට ලබා දීම ( ආහාර රුචිය වැඩි කිරීම )
- දැවිල්ල හා උණුසුම අඩු කරවීම
- සෙම්, පිත්, වාත රෝග සමනයට
- විෂබීජ නැසීමට
- කුඩා දරුවන්ගේ දිවෙහි ඇතිවන මැලියම් ඉවත් කිරීමට
- මළ, මුත්‍රා හොඳින් පිට කිරීමට
වත්මන් දෙමාපියන් රතකල්කය නොදීමට හේතූන්
- එය පිළිබඳව ඇති නොදැනුවත්කම නිසාවෙන්
- එය සකස් කර ගැනීමට නොදන්නා හෙයින්
- අමුද්‍රව්‍ය සොයා ගැනීමෙහි අපහසුතාවය හෝ
- මාස 06 ට අඩු නම් ලබා දීමට බිය වීම
එකල නිවසක නොවරදින දිව්‍යමය ඔසුවක් වූ මෙය නොසැලකිල්ලට ලක් වුවද එහි ඇති වටිනාකම අප බැහැර නොකළ යුතුයි. ඔබේ දරුවාට රතකල්කය ලබා දීමෙන් නීරෝගී හා ක්‍රියාශීලි දරුවෙකු කළ හැකි බවද මතක තබා ගන්න. ඔබත් ඔබේ දරුවාට රතකල්කය ලබා දී ඇත්නම් ඒ පිළිබඳව අපට ඔබේ අදහස දැක්වීමටත් අමතක නොකරන්න.
by Kaushalya De Silva
Photo source : Internet
1387 Views
Comments