විශ සහිත සර්පයන් හදුනාගන්නේ මෙහෙමයි - 1

ලොව වැඩිම සර්ප දෂ්ඨන ප්‍රතිශතයක් වාර්තාගත වන රටක් තමයි අපේ ලංකාව කියන්නේ. වසරකට ලංකාව තුළ සර්ප දෂ්ඨන 33,000 - 37,000 ක් පමණ වාර්තාවන අතර එයින් 100 ක් පමණ මාරාන්තික වූ දෂ්ඨන සේ සැලකෙනවා. ඉන් කිහිපයක්ම අධික විෂ සහිත නයා, තිත් පොළඟා, තෙල් කරවලා හා මඳ විෂ සහිත කුණකටුවන්ගේ ( පොළොන් තෙලිස්සා ) දෂ්ඨ කිරීම් වනවා.
මෙතෙක් ලංකාව තුළ හදුනාගෙන ඇති සර්ප විශේෂ 102 න් අධික විෂ සහිත සර්ප විශේෂ 21 ක් සිටී. උග්‍ර නොවන විෂ ඇති විශේෂයන් 5 ක් හා මඳ විෂ ඇති විශේෂයන් 12 ක් මෙන්ම නිර්විෂ සර්ප වර්ග 64 ක් වේ.
මේ අනුව ලංකාවේ බොහෝමයක්ම මරණ සිදු වන්නේ නයා, තෙල් කරවලා හා තිත් පොළඟා දෂ්ඨ කිරීම් තුළින්. බොහෝමයක් සර්පයින් දෂ්ඨ කරන්නේ ඔවුන්ට තර්ජනයක් එල්ල වූ විට හෝ තම ගොදුර අඩපණ කරගැනීමටයි. එහෙත් සියළු සර්පයින් විෂ සහිත බවත්, අනිවාර්යයෙන්ම මිනිසුන්ට දෂ්ඨ කරන සතුන් හා පළිගන්නා සතුන් කොටසක් බවට සමාජයේ පැවතෙන විවිධ දුර්මත හේතුවෙන් මෙම සතුන් නිකරුණේ මරා දැමීමට කටයුතු කරනවා. එලෙසම මෙම සතුන් අපිරිසිදු, සෙවල සහිත අවාසනාව ගෙනදෙන සත්වයන් ලෙස සලකමින් පිලිකුලට ලක් කරනවා.
විෂ සහිත හෝ නිර්විෂ සර්පයින් වෙන් වෙන්ම හදුනාගැනීමට ඇති හැකියාව ලංකාවේ බොහෝ දෙනෙකුට නොමැති නිසා කිසිදු සොයා බැලීමකින් තොරව විනාශ කර දැමීමට කටයුතු කරනවා. ලාංකිකයන්ට නිවැරදිවම හදුනාගත හැක්කේ හිස පළල් " ප " යන්න හිසෙහි ඇති පෙනයක් සහිත වූ නාගයා පමණි. එහෙත් සර්පයින් ආහාර සපයා ගැනීමටත් තම තම ආරක්ෂාව සලසා ගැනීමටත් යොදා ගන්නා විවිධ වූ ක්‍රම නිරීක්ෂණයෙන් විෂ හා නිර්විෂ සර්පයින් පහසුවෙන්ම වෙන්කොට හදුනාගත හැකි වනවා. මෙලෙස විෂ හා නිර්විෂ සර්පයින් හදුනාගැනීමේදී ඇතිවන ප්‍රධානතම ගැටළුව වන්නේ ඇතැම් නිර්විෂ සර්පයින් විෂ සහිත වූ සර්පයින්ට සමානකමක් දැක්වීමයි. මේ නිසාම නිකරුණේ මොවුන් මරණයට පත් කරනු ලබනවා. එනිසා අඩුම තරමේ මිනිසාට උග්‍ර විෂ වන සර්පයින් ත්‍රිත්වය හෝ නිසියාකාරව හදුනා ගැනීමට පුරුදු වීමෙන් පරිසරයේ සමතුලිතතාවයට දායක වන අහිංසක සර්පයින්ගේ ජීවිත බේරා ගත හැකි වනවා.
උග්‍ර විෂ සර්පයන්ගෙන් මිනිස් වාසයට ආසන්නවම දකින්නට ලැබෙන සර්පයෙක් ලෙස තෙල් කරවලා හැදින්විය හැකියි. තෙල් කරවලා ( Bungarus Caeruleus ) සාමාන්‍යයෙන් නිර්විෂ සර්පයින්ගෙන් වෙන්කර හදුනාගැනීම ඉතා පහසුයි. නිල් වර්ණයට හුරු හුරු කළු හෙවත් කාක නිලට හුරු මොවුන්ගේ සමේ සිහින් සුදු පැහැයෙන් හරස් තීරු ලෙස පිහිටන අතර වලිගය දෙසට යත්ම ක්‍රම ක්‍රමයෙන් එය අඩු වීගෙන යයි. එක ළඟ තීරු දෙක බැගින් මොවුන්ගේ පිහිටන අතර බොහෝ විට අප වරද්දාගන්නා රදනකයාගේ මේ ඉරි පිහිටන්නේ සම දුරිනි. මොවුන්ගේ දිග සෙ.මී 25 - 140 ත් අතර වේ. දළ වශයෙන් අඩි 1 - 4.6 අතර. සිරුරෙහි විශාල ෂඩාස්‍රාකාර කොරපොතු දක්නට ලැබෙනවා. නමුත් දුඹුරු වර්ණයට හුරු කළු පැහැයක් ගන්නා රදනකයා, කළු දුඹුරු පැහැ කබර රදනකයා, ලා දුඹුරු පැහැති මල් රදනකයාගේ කොරපොතු සියල්ල හැඩයෙන් සමාන වනවා. සාමාන්‍යයෙන් අඩි 2 - 2.6 කට වඩා දිගට වැඩුණු රදනකයෙකු දැකීම සිදු වන්නේ කලාතුරකිනි.
by Kaushalya De Silva
Photo source : Internet
2420 Views
Comments