වැට බැඳිය යුතු අල්ලස් සහ දූෂණ
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
01

වැට බැඳිය යුතු අල්ලස් සහ දූෂණ

වැට බැඳිය යුතු අල්ලස් සහ දූෂණ

අල්ලස් හා දූෂණ අද සමාජයේ මෙන්ම මාධ්‍ය තුලද වැඩි වශයෙන් කතාබහට ලක්වන මාතෘකාවක්. ජාත්‍යන්තර වශයෙන් සලකා බැලීමේදී ලෝකයේ නොදියුණු සහ දියුණු වෙමින් පවත්නා රටවල් දශක ගණනාවක් පුරා එම තත්ත්වයෙන්ම පවතින්නේ අල්ලස හා දූෂණය නිසා බවයි බොහෝ කරුණු ගවේෂණය කිරීමේදී හෙළි වී ඇත්තේ. දූෂණ සම්බන්ධයෙන් කරන ලද සමීක්ෂණ වලින් තහවුරු වී තිබෙන්නේ යම්කිසි රටක දූෂණය හා වංචාව ඉහළ යාම හේතුවෙන් එම රටේ මහජනතාව වෙනුවෙන් වැය කිරීමට ඇති සුවිසල් ධනස්කන්ධයක් අපතේ යන බවයි. එමෙන්ම එය එම රටේ තිරසාර ඉදිරි සංවර්ධන ක්‍රියාවලියටද දැඩි බලපෑමක් සිදුකරන බව සඳහන්. අල්ලස සහ දූෂණය තවත් අතකින් යුක්තිය හා සාධාරණත්වය යටපත් කිරීමෙහි මූලික සාධකයක් බවටද පත්වේ.

 

වර්තමානය වන විට කවරදාටත් වඩා ලාංකික සමාජය තුළ අල්ලස සහ දූෂණය සම්බන්ධයෙන් කතාබහ කෙරෙයි. අල්ලස් හා දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් මාධ්‍ය ගවේෂණාත්මක වාර්තාවන් ද බහුලව ඉදිරිපත් කරනු ලබයි. එසේම අල්ලස හා දූෂණය රජයන රාජ්‍ය ආයතන පිළිබඳවද මෙරට මාධ්‍ය නිරන්තරයෙන් කථාබහට ලක් කරනු ලබයි. ශ්‍රී ලංකාවේ අල්ලස හා දූෂණය පිළිබඳව ප්‍රථමයෙන්ම මෙරට නීතියට හඳුන්වා දුන්නේ 1954 අංක 11 දරණ අල්ලස් පනත මගින්. ඒ මෙරටට නිදහස ලැබීම හා සමගාමීවයි. මෙම පනත ආරම්භයේ දී අල්ලස් සම්බන්ධ වැරදි පිළිබඳ පරීක්ෂණ සිදු කරන ලද්දේ නීතිපතිවරයා විසින්. එසේ නැතහොත් නීතිපතිවරයා විසින් බලය පවරන ලද වෙනත් නිලධාරියෙකු විසින්. එහෙත් එහිදී අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නඩු පැවරීම සිදු කරන්නේ නීතිපතිවරයා විසින්ය.

 

කාලය ගතවීමත් සමගම ශ්‍රී ලංකාවේ අල්ලස් පිළිබඳ පැමිණිලිවල දක්නට ලැබුණේ ශීඝ්‍ර ඉහළයාමක්. මේ සඳහා වෙනමම ආයතනයක් බිහිවීමේ අවශ්‍යතාවයද මතු වන්නට වූයේ ඒ සමගින්. එහි ප්‍රතිඵලයක් ලෙස 1958 අංක 40 දරණ පනත මගින් අල්ලස් දෙපාර්තමේන්තුව පිහිටුවනු ලැබීය. ඒ අල්ලස් කොමසාරිස්වරයෙකුගේ ප්‍රධානත්වයෙන්. කෙසේ වෙතත් 1994 වන විට අල්ලස් දෙපාර්තමේන්තුව අහෝසි වී යයි. ඒ 1994 අංක 19 දරණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත මගින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්ථාපිත වීම හේතුවෙන්. එතෙක් ලංකාවේ නෛතිකව සඳහන් කෙරුණේ අල්ලස සම්බන්ධ වැරදි පමණක් වූ අතර, එම පනතට සමගාමීව සම්මත කෙරුණු 1994 අංක 20 දරණ අල්ලස් සංශෝධිත පනතින් දූෂණය යනුවෙන් අලුත් වරදක්ද ලාංකික නීතියට හඳුන්වා දෙනු ලැබීය.

 

අල්ලසින් හා දූෂණයෙන් තොර සමාජයක් ස්ථාපිත වීමෙන් රටක ගමන් මඟ හැර වෙන්නේ සුබවාදී දිශාවකට. එමගින් මහජන මුදල් විෂම හා අසාධාරණ ලෙස අවභාවිත වීම වැළැක්වෙන අතර යුක්ති සහගත සහ සාධාරණ මහජන සේවාවක් පිළිබඳව සහතික වීමක් සිදුවේ. එහි වැදගත්ම කාර්යය වන්නේ යම් රටක සංවර්ධන ගමනට ඇති දුර ඉතා කෙටි වීමයි.

views

1170 Views

Comments

arrow-up