දරුවන්ව කියවීමට හුරු කරමු

කියවීම කියන්නේ දරුවන්ගේ මනසට පහසුවෙන් ම කතා කරන්න පුලුවන් හොදම ක්‍රමයක්. දරුවා සවන්දීම ආරම්භ කරන්නේ මව් කුස තුළ දීමය. පසුව දරුවා ක්‍රම ක්‍රමයෙන් උස් මහත් වන විට තනියම පොත්පත් කියවන්නට හුරු වෙනවා. මෙය පුරුද්දක් ලෙස දරුවා තුළ ඇතිකිරීමට දෙමාපිය සහය අවශ්‍ය වනවා. එහිදී මුලින්ම අපි දෙමාපියන් හැටියට ආදර්ශමත් විය යුතුයි. ඔවුන් සමගම එක්ව පොත් කියවීම කළ යුතුයි.
පොත් කියවීම තුළින් දරුවාට විදින්න අපහසු වූ බොහෝ අත්දැකීම් විද ගැනීමට අවස්ථාව උදා වෙනවා. දරුවා කියවන්න හුරු වෙනතුරු ඔබ දරුවා සමගම කියවන්න. දරුවා වඩා කැමැත්තක් දක්වන පොත් කියවන්නට උනන්දු කරවන්න. එවිට ඔහු පොත් කියවීමේ උනන්දුව වැඩි කරගනීවි. නින්දට පෙර පොතක් කියවීම පුරුද්දක් ලෙස කරන්න. පොත ශබ්ද නගා කියවීම තුළින් දරුවා වචන පිළිබඳව හොඳ අවබෝධයක් මෙන්ම පොතේ අඩංගු චරිත වලට ඇලිමක් දක්වන්නට පටන් ගනී. පොත් කියවන අතරතුරදී ඔබ දරුවාගෙන් ඒ ආශ්‍රිත ප්‍රශ්න අසන්න. පොතේ තිබෙන දේවල් ගැන කතා කරන්න. ඔහු කැමති චරිත හා එහි අවස්ථා ගැන එවිට දරුවා ඔබට කියාවි. " ඊලගට වෙයි කියලා හිතන්නේ මොකක්ද ? " ලෙස ඇසීමෙන් දරුවාගේ උනන්දුව තව තවත් වැඩි වේවී.
මහජන පුස්තකාලය හෝ පාසල් පුස්තකාලයට දරුවාව සම්බන්ධ කරන්න. එයින් දරුවාගේ රුචිකත්වයට අනුව විවිධ පොත් තෝරා ගැනීමට අවස්තාවක් ලබා දීමට ඔබට හැකියාව ඇත. එහිදී ඔබට පොත් තෝරා ගැනීමට උදව් කළ හැකියි. නිතරම පොතක් ලග තබා ගැනීමට අවස්තාව දරුවාට ලබා දෙන්න. උදාහරණයක් ලෙස පවුලේ සියළු දෙනාම වාහනයෙන් ගමන් බිමන් යන අතරේ දුරකතන හා ටැබ් යන්ත්‍රය වෙනුවට පොතක් අතට දෙන්න. සෑම විටම යහළුවන් සමග පොත් ගැන, ඒවායේ චරිත පිලිබදව, පොතේ නිමාව, පොත් රචකයන් පිලිබඳව සංවාදයකට දරුවාව යොමු කරන්න. එවිට එහි රස මුසු තැන්, විය යුතු වෙනස්කම්, දුක හා සතුට දැනුනු අවස්ථාවන්, යහළුවන් සමග බෙදා ගනීවි.
යම් පොතක් ගැන දරුවාගේ අදහස් දැන ගන්න. නොතේරෙන තැන් පිළිබඳව දරුවාට අනිවාර්යයෙන්ම කියලා දෙන්න. දරුවාට නිවසෙහි කියවීමට විශේෂ ස්ථානයක් සකසා දෙන්න. හැකි සෑම විට ම පොතක් දරුවාට තෑගි කරන්න. පොත් යනු කෙනෙකුගේ ජීවිතයේ සෑම අවස්ථාවකටම ජීවය ලබා දිය හැකි වූ විශ්ව ශක්තියකි. පොත පත කියවීමට නැඹුරු වන ඔබේ දරුවා අවිහිංසාවාදී, දුක සතුට, ජය පරාජය හදුනන, මානුෂීය හැගීම් වලින් පිරි පුද්ගලයෙකු වනවා නොවනුමානයි. ඔබේ දරුවා රටට දැයට යහපත් පුරවැසියෙක් වෙන බව ඔබ ම ස්ථීර කර ගන්න.
by Kaushalya De Silva
Photo source : Internet
2010 Views
Comments