තිරගතවීම් නැවතුන සූර්යවංශි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
22

තිරගතවීම් නැවතුන සූර්යවංශි

තිරගතවීම් නැවතුන සූර්යවංශි

රෝහිත් ෂෙට්ටි කියන්නේ බොලිවුඩයේ ඉහළ ජනප්‍රියත්වයක් දිනා ගෙන තියෙන අධ්‍යක්ෂකවරයෙක්. ගෝල්මාල්, සිංගම් චිත්‍රපට මාලාව වගේම ප්‍රේක්ෂක අවධානය දිනාගත් බොලිවුඩ් නිර්මාණ රැසක් ඔහු අධ්‍යක්ෂණය කරලා තියෙනවා. ඔහුගේ අලුත් චිත්‍රපටයක් පැමිණෙන තෙක් රසික රසිකයන් බලාසිටින්නේ නොඉවසිල්ලෙන්. හොලිවුඩයේ මාවල් සිනමැටික් යුනිවර්ස් සහ ඩිස්නි එක්ටෙන්ඩඩ් යුනිවර්ස් මෙන් දැන් බොලිවුඩයට ෂෙට්ටීස් පොලිස් බලඇණියක් එකතුවී තියෙනවා. ආදායම් වාර්තා තබන චිත්‍රපට නිර්මාණකරුවකු ලෙසින් ප්‍රකට ඔහුගේ නිර්මාණ සමගින් ඇරඹි මෙම පොලිස් බලඇණියට තවත් වීරවරයෙක් එක්වීමට නියමිතව තියෙනවා. රෝහිත් ෂෙට්ටිගේ පොලිස් බලඇණිය ආරම්භ වූයේ සිංගම් චිත්‍රපටයත් සමගයි. පසුව සිම්බා හරහා ඊට එකතු බජිරාඕ සිම්බා එකතු වුනා. සිංගම් චිත්‍රපටියේ සිංගම් පොලිස් වීරයා වන අතර එම චරිතයට පණපොවන්නේ බොලිවුඩයේ නළු අජේ දෙව්ගන් විසින්. සිම්බා චිත්‍රපටයේ පොලිස් නිලධාරියා ලෙසින් තෝරා ගෙන තියෙන්නේ රන්වීර් සිං. ෂෙට්ටිගේ මීළඟ අධ්‍යක්ෂණය වන්නේ සූර්යවංශි. එය නුදුරේදීම රිදී තිරයෙන් දිග හැරීමට නියමිතයි. ඒ ඔස්සේ මේ පොලිස් බලඇණියට අලුත් වීරවරයාගේ පැමිණීම සිදු වෙනවා. ඔහු නමින් වීර් සූර්යවංශි. සූර්යවංශි පිළිබඳ ඉඟිය ලබාදුන්නේ සිම්බා චිත්‍රපටය අවසානයත් සමගයි.
 

 

 


මුම්බායි ත්‍රස්ත මර්දන බලකාය ප්‍රධානී නියෝජ්‍ය පොලිස් කොමසාරිස් වීර් සූර්යවංශි සහ ඔහුගේ කණ්ඩායම විසින් මුම්බායි නගරයට පහර දීමට සැලසුම් කර ඇති ත්‍රස්ත කණ්ඩායමක් නැවැත්වීමේ විශේෂ මෙහෙයුමක් සංවිධානය කරනවා. ඒ සඳහා නියෝජ්‍ය පොලිස් කොමසාරිස් බජිරාඕ සිංගම් සහ පොලිස් අධ්‍යක්ෂක සංග්‍රම් භලේඕරා එකතුවෙනවා. සූර්යවංශි චිත්‍රපටය දිගහැරෙන්නේ ඒ විදියට. හිරු යාෂ් ජොහාර්, අරුන් භාතිය, කරන් ජොහාර් අපූර්වා මෙහෙතා හා රෝහිත් ෂෙට්ටි විසින් නිෂ්පාදනය කළ මෙහි වීර් සූර්යවංශි ලෙස පණපොවන්නේ බොලිවුඩ් නළු අක්ෂය කුමාර්. අක්ෂය සමගින් කත්‍රිනා කායිෆ් අජේ දේව්ගන් අභිමන් යූ සිං නිහාරිකා රායිසදා ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙනවා. මාර්තු 24 වෙනිදා සිට තිරගත වීමට නියමිතව තිබුණු මේ චිත්‍රපටය කොරෝනා වෛරසය පැතිරයාම සමඟ දින නියමයක් නොමැතිව කල් දැමීමට ඔවුන්ට සිදුවුණා. ආදරණීය ප්‍රේක්ෂකයන්ගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව ඉතා වැදගත් බැවින් මෙම දිනය කල් දැමීමට සිදු වූ බව ඔවුන් නිවේදනය කරනවා. සිංගම් සිම්බා සූර්යවංශි ගෙන් පසුවත් රෝහිත් ෂෙට්ටි විසින් ඔහුගේ පොලිස් බලඇණියට තවත් අපූරු චරිතයක් එකතු කරන බව වාර්තා වෙනවා. ඉතින් මේ වසංගත උවදුර ඉක්මනින් නිමා වෙලා ඔවුන්ගේ මේ අලුත් නිර්මාණ ඉක්මනින්ම ප්‍රේක්ෂකයන්ට රසවිඳින්න හැකි වේවායි හැමෝම ප්‍රාර්ථනා කරනවා.

 

 

by Dilki Shamani

Photo Source: Internet

 

views

481 Views

Comments

arrow-up