අමුතු කතාවක් කියන Project Power
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
16

අමුතු කතාවක් කියන Project Power

අමුතු කතාවක් කියන Project Power

මේ සූදානම් වන්නේ 'සුපිරි වීරත්වය' පාදක කරගෙන නිමැවුණු නවතම චිත්‍රපටයක තොරතුරු ඔබට කියන්න. PROJECT POWER (ව්‍යාපෘතිය : බලය) ලෙස නම් වුණු මෙම චිත්‍රපටය නෙට්ෆ්ලික්ස් ආයතනයේ බෙදාහැරීමක් වන අතර 2020 අගෝස්තු 14 වැනිදා සිට තිරගත වීම ඇරඹුණි. මෙහි අධ්‍යක්ෂණය හෙන්රි ජූස්ට් සහ ඒරියල් ෂුල්මන් විසින් ද නිෂ්පාදනය එරික් නිව්මන් සහ බ්‍රයන් අන්කෙලස් විසින් ද වන අතර තිර රචනය මැට්සන් ටොම්ලින් විසිනි. ජේමි ෆොක්ස්, ජෝශප් ගෝර්ඩන්-ලෙවිට්, ඩොමිනික් ෆිෂ්බැක් සහ කොල්සන් බේකර් ඇතුළු පිරිස විසින් චරිත නිරූපණය කරන 'ප්‍රොජෙක්ට් පවර්' චිත්‍රපටය අමෙරිකානු ඩොලර් මිලියන 85 ක පිරිවැයකින් තනා නිමකර ඇත.

 


ඇමෙරිකා එක්සත් ජනපදයේ ලුසියානා ප්‍රාන්තයේ නිව් ඕලියන්ස් නුවරයි. නන්නාඳුනන පුද්ගයයෙකු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කාර පිරිසකට අලුත් මත් පෙත්තක් හඳුන්වා දෙනු ලැබෙයි. මෙම පෙත්ත පරිභෝජනය කරන පුද්ගලයාහට විනාඩි පහක කාලයක් පුරා අනන්‍ය වූ සුපිරි බලයක් හිමිවේ. එහි ඇති තවත් ලක්ෂණයක් වන්නේ මෙය පරිභෝජනය කිරීමට පෙර තමාට ලැබෙන සුපිරි බලය කුමක් වේද යන්න කිසිවෙකුත් නොදැන සිටීමයි. ඇතැමෙකුට එයින් වෙඩි නොවදින ශරීරයක්, අදෘශ්‍යමාන බවක් හෝ සුපිරි ශක්තියක් හිමි වන අතර තවත් අයෙකුට මෙම පෙත්ත මාරාන්තික වේ. නිව් ඕලියන්ස්හි වීදි පුරා නව මත්-පෙත්ත ගැන පුවත පැතිරී යන අතර 'තාවකාලික සුපිරි බලවතුන්' නිසා නගරයේ අපරාධ මට්ටම ද දිනෙන් දින ඉහළ යයි. නගරය පුරා පැතිරී යන නව 'බලය' ට මුහුණ දීමට ඉදිරිපත් වන්නේ පොලිස් නිලධරයෙකු වන ෆ්‍රෑන්ක් ශේවර් සමඟ ගැටවර වියේ මත්කුඩු වෙළෙන්දියක වූ රොබින් රීලී සහ හිටපු හමුදා නිලධාරියකු වන ආර්ට් යන තිදෙනායි. මෙලෙස ඇදී යන්නේ PROJECT POWER සිනමාපටයයි.

 


විචාරකයන්ගේ මිශ්‍ර පැසසුම් ලැබූ මෙම චිත්‍රපටය රොට්න් ටෝමැටෝස් වෙබ් අඩවි දර්ශකයේ ලකුණු 60%ක් සහ අයිඑම්ඩීබී දර්ශකයේ ලකුණු 6/10 ක් සටහන් කර ඇත. රොට්න් ටෝමැටෝස් පොදු විචාරයට අනුව මෙම චිත්‍රපටය එහි සමහර හැකියාවන් නාස්ති කළ ද ඉතා විනෝදජනක, ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර රොබින් රීලිගේ චරිතයට පණ පොවන ඩොමිනික් ෆිෂ්බැක් සිය දක්ෂතාවයන් විශිෂ්ට ලෙස පෙන්වා ඇත. හොලිවුඩ් චිත්‍රපට ඉතිහාසයේ සුපිරි වීර චරිත චරිත ආශ්‍රය කරගත් චිත්‍රපට වර්තමානයේ වැඩි වැඩියෙන් නිර්මාණය වන බව නොරහසක්. එවැනි නිර්මාණ අතරට එකතු වූ project power චිත්‍රපටය ඔබත් නරඹන්න.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

364 Views

Comments

arrow-up