ගෝකණ්ණ සයුරින් වටවූ කෝනේශ්වරම් කෝවිල
ලෝකයේ විශාලතම ස්වාභාවික වරායන්ගෙන් එකක් වන ත්‍රිකුණාමල වරාය ආසන්නයේ ඉදි කරන ලද හින්දු දෙවියෙකු වන ශිව දෙවියන් වෙනුවෙන් කැප කරන ලද පුරාණ විහාරස්ථානයක් ලෙස කෝනේශ්වරම් කෝවිල හැඳින්විය හැකිය. මෙය පිහිටා ඇත්තේ මුහුදෙන් තුන් පැත්තකින් වට වූ උස් ගල් පර්වතයක මුදුනේය. මෙම කෝවිල කව්රුන් විසින් කිනම් කාලයක ඉදි කරන ලද්දක්ද යන්න නිශ්චිතවම නිර්ණය කර ගැනීමට සමත් වී නැතත් පුරාවෘත්තවලට අනුව රාවණා රජු සහ ඔහුගේ මව එකල මෙම කෝනේශ්වරම් කෝවිලේ බැතිමතුන් විය. මෙම පුරාවෘත්තය සත්‍ය නම්, එයින් ඇඟවෙන්නේ වසර 5000 කට වැඩි කාලයක් පුරා මෙම කෝවිල පැවත ඇති බවයි.
මෙම කෝවිලට පිවිසීම සඳහා දිගු වන්දනා මාර්ගයක ගමන් කළ යුතු වන අතර එහි දෙපස කුඩා වෙළදසැල් දක්නට ලැබේ. එමෙන්ම මාර්ගය අවට මුවන් සහ මොනරුන් නිදැල්ලේ සැරිසරන ආකාරයද දැක ගත හැකිය. කෝවිලට ඇතුළු වන ස්ථානයේ පෘතුගීසීන්ගේ කාලයේ ඉදි කරන ලදැයි සැලකෙන විශාල පැරණි ආරුක්කුවක් ඇත. ඊට ඔබ්බෙන් පිහිටි ගලේම කපා, පින්තාරු කර ශිව දෙවීයන්ගේ පවුල මුර්තිමත් කර ඇත. එහි ඔහුගේ බිරිඳ පාර්වතී සහ පුතුන් දෙදෙනා වන ගනේෂ සහ මුරුගන් දෙවියන් නිරුපනය කර ඇත.
කෝවිලට ඇතුළු වීමට පෙර බැතිමතුන්ට පිරිසිදු වීම සඳහා ජලය සහිත පොකුණක් ඉදි කර ඇත. ඒ ආසන්නයේ පිවිසුම් දොරටුවේ දකුණු පසින් ශිව දෙවියන්ගේ දැවැන්ත පිළිමයක් ඉදි කර ඇති අතර මෙම පිළිමය අවම වශයෙන් අඩි 14 ක පමණ උසින් යුක්ත වේ.
කෝවිලේ වහලය සහ ඇතුළත අලංකාර ලෙස කැටයම් කර වර්ණවත් ලෙස පින්තාරු කර ඇත. එහි බිත්ති ශිව දෙවියන් විසින් සිදු කරන ලද ප්‍රාතිහාර්යයන් හා බැඳී විවිධ දර්ශන සහ කෝවිලේ ඉතිහාසයේ දර්ශනවලින් අලංකාර කර ඇත. සියලු සංචාරකයන්ගේ දැන ගැනීම පිණිස එම සිතුවම් සියල්ලටම සිංහල,දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම පැහැදිලි කිරීමක් ඒ සමඟ දක්වා ඇත.
කෝවිලට පිටුපසින් පූජනීය ගසක් ඇති අතර එහි දැවයෙන් නිම කරන ලද කුඩා තොටිලි රැසක් එල්ලා ඇත. ඒවා දරු සම්පත් ප්‍රර්ථනා කරමින් බැතිමතුන් විසින් එල්ලා ඇත. ඊට අමතරව මෙහි ශිව දෙවියන් නිරූපණය කරන ඉතා පැරණි සිතුවම්වලින් පින්තාරු කරන ලද බිත්ති වලින් සැදුනු කුඩා ස්වාභාවික ගුහාවක් ද දක්නට ලැබේ.
ත්‍රිකුණාමල ප්‍රදේශයේ සංචාරයකදී මඟ නොහැරිය යුතුම ඉතා ප්‍රසිද්ධ ස්ථානයක් වන මෙම කෝවිලට ඇතුළු වීමේදී ඊට සුදුසු ඇඳුමකින් සැරසී, පාවහන් ඉවත් කර එහි ආගමික සිරිත් විරිත් වලට ගරු කිරීමට මතක තබා ගැනීම වැදගත් වේ.
by Sajini Ishanthi
Photo Source: Internet
3314 Views
Comments