තුර්කියේ මොසෝලස් රජුගේ සොහොන
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
21

තුර්කියේ මොසෝලස් රජුගේ සොහොන

තුර්කියේ මොසෝලස් රජුගේ සොහොන

මොසෝලස් රජුගේ සොහොන් ගැබ එසේත් නැතිනම් ‘හොලිකාර්නෑසස් සොහොන් ගැබ’ යනුවෙන් හැඳින්වෙන්නේ පර්සියානු රාජවංශයේ මොසෝලස් රජු සිහි කිරීම වෙනුවෙන් ඉදිකළ ගොඩනැගිල්ලකි. මෙය නිර්මාණය කර අවසන් කළේ ක්‍රි.පූ. 353 සිට 350 දක්වා කාලයේ යැයි ඓතිහාසික වාර්තාවල සඳහන් වෙයි.


ක්‍රි.පූ. 353 දී, හොලිකාර්නෑසස් හි මොසෝලස් රජු මියගියේය. ඔහුගේ බිරිඳ වූයේ ඔහුගේ සොහොයුරිය කාරියාවේ දෙවැනි ආටිමීසියා රැජින ය. ඒ වනවිට මොසෝලස් රජුගේ දේහය තැන්පත් කිරීම සඳහා සොහොන් ගැබක් ඉදි කෙරෙමින් පැවැතිණි. තම සැමියාට ගෞරවයක් කිරීමට එය යොදා ගැනීම කළ හැකි යැයි ඇයට සිතුණි. ඒ අනුව, ඇය පුරාණ ග්‍රීසිය පුරා පණිවුඩකරුවන් පිටත් කර හැරියාය. දක්ෂ ගල් වඩුවන්, මූර්ති ශිල්පීන් අවශ්‍ය බව ඇය දන්වා සිටියාය. ඇය තෝරා ගත්තේ අති දක්ෂ නිර්මාණකරුවන් පමණි. රජුගේ සොහොන් ගැබ ඉතා අලංකාර අයුරින් නිර්මාණය විය යුතු බවත්, මුදල් ප්‍රශ්නයක් නොමැති බවත් ආටිමීසියා රැජින පැවැසුවාය. ලොව මෙතෙක් දකින්න නොලැබුණු ආකාරයේ සොහොන් ගැබක් නිර්මාණය කර දෙන ලෙස ඇය ඔවුන්ට උපදෙස් ලබා දුන්නේ යැයි පැවැසෙයි.

සොහොන් ගැබ ඉදිකර අවසන් කිරීමට පෙර ආටිමීසියා රැජින මියගියාය. රැජින නොමැති වුවත්, බාරගත් කටයුත්ත අවසන් කිරීමට මූර්ති ශිල්පීන් සහ ඉදිකිරීම් ශිල්පීන් තීරණය කළේ යැයි ඉතිහාස වාර්තාවල සඳහන් වෙයි. ඒ, මොසෝලස් රජුට ගරු කිරීමක් ලෙස පමණක් නොව විශිෂ්ට නිර්මාණයක් බව ලොවට පෙන්වීමේ ද අරමුණ ඇතිවය.

 


කිරිගරුඬ යොදා ගනිමින් නොයෙක් නොයෙක් ආකාරයේ මූර්ති නිර්මාණය කරන්න වූහ. සොහොන් ගැබ අද දකින්න නොලැබුණත්, ඉදි කළ මෙම ප්‍රතිමා සහ ගල් කැටයම් කිහිපයක් දකින්න ලැබේ. තුර්කි රජය ඒවා සංරක්ෂණය කර තිබේ. ග්‍රීක මූර්ති ශිල්පීන්ගේ විශිෂ්ටත්වය ඒවා හරහා මැනැවින් කැපී පෙනෙයි. ලන්ඩන් කෞතුකාගාරයේ ද මෙම සොහොන් ගැබේ ඉතිරි වූ ප්‍රතිමා සහ ගල් කැටයම් ප්‍රදර්ශනයට තබා ඇත. ඔවුන්ගේ අවසන් නිර්මාණය සැබැවින්ම විස්මිත අපූරු ගොඩනැගිල්ලක් විය. ලොව වෙන කිසිම තැනක එවැනි අපූරු නිර්මාණයක් නොමැති බව ග්‍රීකයෝ පැවැසූහ. සොහොන් ගැබට ඇතුළුවීමට ගලින් කළ පඩි පෙළකි. දෙපස යෝධ සිංහ රූප පෙළකි. ගොඩනැගිල්ලේ සිවු කොනේ හෙල්ල සහ පළිහ අතින් ගත් අසරුවෝ සිවු දෙනෙකි. රජුගේ දේහය තැන්පත් කළ කොටස වට කරමින් ගොඩනැගිල්ල ඉදි කර තිබුණේ සුදු පැහැති කිරිගරුඬවලිනි. සොහොන් ගැබ අඩි 150ක් උසින් යුක්ත විය.

වර්තමානයේ මෙම ස්ථානය ඇත්තේ තුර්කියේ ගොඩ්රුම් නගරයේය. මොසෝලස් රජුගේ සොහොන් ගැබ පිහිටි ස්ථානයේ ඇති නටබුන් සංචාරක ආකර්ෂණයක් වී ඇත.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

268 Views

Comments

arrow-up