මුළුතැන්ගෙයි අනිවාර්යෙන්ම පිසෙන බතෙහි ගුණ

අපගේ ප්‍රධාන ආහාරය බත්. එහි ශක්තිය දෙන ශක්තිජනක කාබෝහයිඩ්රේට් වලට අමතරව තෙල් ඉතා සුළු ප්‍රමාණයක්ද ශරීරයේ වර්ධනයට අවශ්‍ය වන ප්‍රෝටීන් සුළු ප්‍රමාණයක්ද ඛනිජ ලවන සහ විටමින් සුළු ප්‍රමාණයක් ද අඩංගු වේ. සහල් ඇටයේ පිටතින්ම ඇති ආවරණය හෙවත් නිව්ඩ්ඩෙහි විශාල වශයෙන් පෝශදායි පදාර්ථයන් අඩංගු වී ඇත. ඒවා අතරින් විටමින් B1 හෙවත් තයමින් වැදගත් වන්නේය. එබැවින් රතු කැකුළු සහ අඩුවෙන් පාහින ලද සහල් පෝෂණ ගුණයෙන් වැඩියි. සහල් වැඩිපුර පිරිපහදු කළ විට ගුල්ලන් වැනි කෘමීන්ගෙන් ආරක්ෂා කරගත හැකි නිසා එකල නැවියන් නැව් වල රැගෙන ගියේ පාහින ලද සුදු සහල් ය. එහි තයමින් ඌණ වූ නිසා බෙරි බෙරි නමැති ස්නායුගත රෝගය වැළඳුණේ ය. බත තැම්බීමට පෙර සහල් ගරා හොඳින් සේදීම ගෘහණියන්ගේ සිරිතයි. එහෙත් සහල් සේදීමේදී පිටවෙන දුඹුරු පැහැති වතුර සමග පෝෂණ කොටස් දියවී ඉවත් වේ. එබැවින් සහ සේදීම අවම කිරීම මගින් එහි පෝෂණ ගුණය වැඩිකර ගත හැකියි.
යම් ආහාරයක ග්‍රෑම් සීයක් අනුභව කළ විට එහි අඩංගු කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය මගින් රුධිරයේ ග්ලූකෝස් මට්ටම කොතරම් ඉහළ යනවා දැයි දැනගතහැකි මිනුම හඳුන්වනු ලබන්නේ ග්ලයිසීමික් අගය යනුවෙනි. දියවැඩියාවෙන් පෙළෙන සහ දියවැඩියාවෙන් පෙලීමට වැඩි ප්‍රවණතාවක් ඇති අය අනුභව කළ යුත්තේ ග්ලයිසිමික් අගය අඩු ආහාර වේ. සුදු කැකුළු සහල් වල විටමින් බී අඩුයි. ජීර්ණය පහසු බැවින් කැඳ සඳහා සුදුසුයි. එහෙත් තම්බපු සහල් සහ බාස්මතී සහල් වලට වඩා සුදු කැකුලෙහි ග්ලයිසීමික් අගය වැඩිය. තම්බාපු සහල් පිළියෙල කරන්නේ වී ජලයේ පොඟවා රත් කිරීම මගිනි. එබැවින් එහි වැඩිපුර ජලය අඩංගු වේ. එබැවින් සංසන්දනාත්මකව ඉන් ලැබෙන්නේ රතු කැකුළු හෝ බාස්මතී සහල් සම ප්‍රමාණයකින් ලැබෙන ශක්ති ප්‍රමාණයට වඩා අඩු ශක්ති ප්‍රමාණයකි. එහෙත් වී තැම්බීමේදී එහි නිවුඩ්ඩෙහි ඇති ප්‍රෝටීන් සහ විටමින් ඇටය තුළට උරා ගන්නා බැවින් පෝෂණ ගුණය අතින් උසස් වේ. බාස්මතී සහල් ඇට ඉතා දිගටි යි. එයට හේතුව එහි ඇති අධික තන්තු ප්‍රමාණය බව ඔබ දන්නවාද. එබැවින් එහි ග්ලයිසිමික් අගය ද අඩුයි. එබැවින් එය දියවැඩියා රෝගීන්ට වඩාත් සුදුසුයි. එහෙත් සීඝ්‍රයෙන් වැඩෙන දරුවන්ට සහ යෞවනයන්ට වඩා සුදුසු කැකුලු සහල්ය. පෝෂණ ගුණය අනුව සහල් වර්ග අනුපිළිවෙලට සකස් කළහොත් තම්බපු රතු සහල්, රතු කැකුළු, සුදු කැකුළු, බාස්මතී ලෙස හඳුනාගත හැකියි.
දියවැඩියාවෙන් සහ ස්ථූලතාවයෙන් පෙළෙන අයට සහල් තේරීමේදී මූලිකත්වය ලබාදිය යුත්තේ බාස්මතී, තම්බපු සහල්, රතු කැකුළු, සුදු කැකුළු යන පිළිවෙළටයි. වී කෙටීමේ දී අතුරු ඵලයක් ලෙස හටගන්නා සුනුසහල් බොහෝ විට යොදාගන්නේ සත්ත්ව ආහාර සඳහා ය. ඒවා මිලෙන් ද අඩුයි. එහෙත් එහි පෝෂණ ගුණය ඉතා ඉහළයි. එයට හේතුව වී ඇටයෙන් කැඩී යන කොටස් ඝනත්වයෙන් වැඩි වීමයි. එහි විටමින් ඊ සහ මේද අම්ල ද වැඩිපුර දක්නට ලැබේ. සහල් පිටි ඊස්ට් දමා පිපෙන්නට හැරීමේ දී එහි පෝෂණ ගුණය වැඩි වෙයි. එයට හේතුව පිටි පිපෙන කාලයේදී එහි ඇති ක්ෂුද්‍ර ජීවීන් මගින් නිෂ්පාදනය කරනු ලබන විටමින් වර්ග පිටි වලට එකතු වීමයි. එබැවින් මුහුන් යොදා පිටි පිපෙන්නට හැර සාදාගන්නා ආප්ප, ඉට්ලි වැනි ආහාර වල පෝෂණ ගුණය ඉහළ මට්ටමක පවතී.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
1396 Views
Comments