තේ මේසෙට කටගැස්මට
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
13

තේ මේසෙට කටගැස්මට

තේ මේසෙට කටගැස්මට

තේ වේලාවට ගෙදර හැමෝටම කන්න අපිත් හදමු පොල් කිරි වලින් කිරි ටොෆී ඒ වගේම අල ටොෆීත් හදමු... රසවත් රස කැවිලි දෙකයි...

කිරි ටොෆී

අවශ්‍ය දෑ,

පොල් ගෙඩියක පොල් කිරි
සීනි 500g
කිරි පිටි මේස හැදි 4
බටර් මේස හැදි 2
එනසාල් ස්වල්පයක්

සාදන ආකාරය,

පොල් කිරි සීනි මද ගින්නේ හොදින් හැදිගාගන්න. ටිකක් උකු වීගෙන එන විට පිටිකිරි මද රස්නෙ වතුර ටිකකින් දිය කර ගෙන ඒකත් එක්කම එනසාල් ටිකත් එකතුකරගෙන පදම එන තුරැ හැදිගාන්න.හොදින් උකු වේගෙන එනකොට බටර් ගා ගත් තැටියක හෝ ලෑල්ලක තෙල් හෝ බටර් ගාගත් කෙසෙල් කොළයකින් තුනී කර ගෙන මදක් නිවුණු පසු කෑලි කපා ගන්න.
පිලිගන්වන්න.

 

 

 


අල ටොෆි

අවශ්‍ය දෑ :

අල 1kg
සීනි 2kg
සිහින්ව ගාගත් පොල් ගෙඩියක පොල්
වැනිලා ස්වල්පයක්
බටර් ස්වල්පයක්
කලරින් ( තමන්ට අවශ්‍ය නම් පමනක් කැමති පාටකින් දාන්න)

සාදන ආකාරය:

මුලින්ම අල ටික හොදටම තම්බා ගන්න. තම්බා ගත් පසු පොතු ඇරලා අල ටික හොදින් පොඩි කරගන්න ඕන. කෑලි කිසිවක් නැති වෙන්නම. ඊට පස්සෙ තාච්චියක් ලිප තබා ඒකට හොදට පොඩි කර ගත්තු අල ටිකයි, සීනී 2kg, පොල් ගෙඩියක පොල් එකතු කරගෙන හොදට කලවම් කරගන්න.

මිශ්‍රණයේ සීනී ටික දිය වුනාම තෙත ගතියකට එනවා. දැන් මේකට වැනිලා ටිකයි, බටර් ටිකයි , අවශ්‍ය නම් කලරින් ටිකකුයි එකතු කර ගන්න.

මිශ්‍රණය ලිපේ තියනකන් නිතරම හැදි ගගා ඉන්න ඕන.. නැත්තන් මිශ්‍රණය භාජනයේ අඩියට අල්ලන්න තියන ඉඩ ප්‍රමානය වැඩි නිසා.

විනාඩි 15ක් විතර හැදි ගෑවට පසු බලන්න ඔබ සෑදු මිශ්‍රනේ තාච්චියේ ඇලෙනවද නැද්ද කියලා. මිශ්‍රණය යම් ඝන ගතියක් ආවම (ඝන ගතියක් කියන්නෙ තාච්චියෙ බිත්ති වල ගෑවෙන්නෙ නැත් නම්, මිශ්‍රණය හැදි ගාන්න අපහසු තරමට බර වැඩි වෙනවා වගේ දැනෙනවා නම් ) එතකොට අපි ඒක ලිපෙන් බාගන්න ඕන.

ලිපෙන් බාපු ගමන් අපි තැටියකට හරි , නැත්තන් ඉටි කොලයක් එහෙමත් නැත්නම් ලෑල්ලක් හරි උඩින් මේ මිශ්‍රණය දමාගෙන හොදින් තෙල් හෝ බටර් තවරා ගත් කෙසෙල් කොළයකින් හෝ තුනී කර ගන්න ඕන. ඊට පසු තමන්ට අවශ්‍ය ප්‍රමාණයේ කොටු හැකි ඉක්මනින් කපා ගන්න.

සැ; යු :

මිශ්‍රණය නිවැරැදි පදමට ආවේ නැත්නම් නැවතත් ලිපෙන් තියලා විනාඩි කිහිපයක් ඝන ගතිය එනතුරු තබා නැවතත් තුනී කරගෙන කොටු කපා ගන්න.

ඒ වගේම මේකට අපි කලින් කිරි ටොෆි එකට කිරි දාගත්තා වගේ පොල් කිරි දාන්නෙ නෑ. ගාගත් පොල් විතරයි. පටලවාගන්න එපා.

කැමති නම් විතරක් මේකට එනසාල්, කරාබුනැටි එකක් පොඩි කරලා දාන්න වැනිලා දානකොටම.

ඒ වගේම කෙසෙල් කොළයකින් තුනී කරන්න කෙසෙල් කොළ නැත්නම් පිරිසිදු දිය නොවන තෙල් ගාගත් ඉටි කොලයක් හෝ පත්තක් භාවිතා කරන්න.

 

 

by Kaushalya De Silva

Photo Source: Internet

 
views

793 Views

Comments

arrow-up