එකිනෙකට වෙනස් රතු මස් සහ සුදු මස්

ක්‍රිස්තියානි සහ මුස්ලිම් භක්තිකයන්ට වඩා බෞද්ධ සහ හින්දු භක්තිකයන් මස් වර්ග භාවිතා කරන්නේ අඩුවෙනි. බෞද්ධයන් සහ හින්දු භක්තිකයන් අතර හරක් මස් භාවිතය ඉතාමත් අඩුයි. මුස්ලිම් භක්තිකයන් ඌරුමස් භාවිතා කරන්නේ නැත. එහෙත් කුකුල් මස්, එළු මස් සියලු ජනකොටස් අතර එක සේ ජනප්‍රියයි. පොදුවේ ගත් කල මස් භාවිතය බටහිර, මැද පෙරදිග චීනය සහ ජපානය යන රටවල් සමඟ සසඳන කල අපේ රටේ මස් භාවිතය අවම මට්ටමක පවතින බව ඔබ දන්නවාද. ආගම් සහ සංස්කෘතියට අනුව, සතුන් අනුව මස් වර්ග කළත් විද්‍යාත්මකව මස් වර්ග කරන්නේ රතු මස් සහ සුදු මස් යනුවෙනි.
රතු මස් ලෙස සලකන්නේ රතු වර්ණයෙන් යුතු හරක්, ඌරු, එළු, බැටලු ආදී මස් වර්ගයි. ඒවායේ මෙදය අධික ප්‍රමාණයක් පවතී. ප්‍රෝටීන ප්‍රමාණය කුකුල් මස් වලට වඩා අඩුයි. එබැවින් රතු මස් වල අඩංගු කොලෙස්ටරෝල් ප්‍රමාණය ද අධිකයි. මේදය අධික නිසා රතු මස් භාවිතාකරන්නන් අතර හෘද රෝග ඇතිවීමේ ප්‍රවණතාව වැඩියි. තෙල් ඉවත් කරන ලද මස් හඳුන්වන්නේ ලින්මස් යනුවෙනි. එහි ප්‍රෝටීන ප්‍රතිශතය වැඩියි. රතු මස් රතුවන් දුඹුරු වර්ණයෙන් පෙනෙන්නේ එහි යකඩ අඩංගු myoglobin නමැති සංයෝගය නිසාවෙනි. එහි අඩංගු යකඩ ඉතා පහසුවෙන් ශරීරයට අවශෝෂණය වේ. අක්මාව හෙවත් පීකුදු ලේ වඩවන ආහාරයක් යැයි සැලකෙන්නේ එහි වැඩිපුර යකඩ අඩංගු වන බැවිනි. රතු මස් පිසීමේදී එහි රසායනික ස්වභාවය වෙනස් වී දුඹුරු පාටට හැරේ. නමුත් හැම්බේකන් සහ corn beef වල රතු වර්ණය ඒ අයුරින් ම පවතින්නේ ඒවාට එකතු කරන නයිට්‍රේට වැනි රසායනික ද්‍රව්‍යයන් නිසාය. මෙම රසායනික ද්‍රව්‍යයන් මස්වල ඇති myoglobin සමග සංයෝග වී පිළිකා කාරකයන් ඇතිවන බව සොයාගෙන තිබේ.
කුකුල් මස් සුදු වර්ණයෙන් යුක්තයි. එහි ඇති ප්‍රෝටීන් ප්‍රමාණය රතු මස් වල අඩංගු ප්‍රෝටීන් ප්‍රමාණයට වඩා අධිකයි. තෙල් සහ මේදය වැඩිපුර අඩංගු වන්නේ හමෙහි ය. හම ඉවත් කර පිසින ලද කුකුල් මස් වල කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩුයි. මස්වල අඩංගු අධික තන්තුමය ප්‍රෝටීන නිසා ඒවා ඉතා තදයි. රළු ස්වභාවයක් ගනී. එබැවින් ඒවා මෘදු කිරීම සඳහා විවිධ ක්‍රම භාවිතා කරණු ලැබේ. ප්‍රෝටීන දිය වන සංයෝග එක් කිරීම සහ මස් පිසීමට පෙර විනාකිරි එකතු කිරීම මගින් තද ප්‍රෝටීන මෘදු කර ගත හැකියි. වැඩි වේලාවක් මස් රත් කිරීම හෙවත් පිසීම මගින් ද තවදුරටත් ඒවා මෘදු කර ගත හැකියි. මුං, පරිප්පු, තඹ සහ සෝයා වලද මස් වල මෙන් ප්‍රෝටීන බහුලව අඩංගු වේ. එහෙත් ඒවායේ ඇති ප්‍රෝටීන වල ගුණාත්මකභාවය අඩුයි. රතු මස් වලට වඩා සුදු මස්ද, සුදු මස් වලට වඩා බිත්තර වල ද අඩංගු ප්‍රෝටීන ශරීරයට පහසුවෙන් උරා ගත හැකියි. එබැවින් ඉහළම ගුණාත්මක භාවයෙන් යුතු ප්‍රෝටීන ඇත්තේ බිත්තර වලයි.
පොදුවේ ගත් කල සියලුම මස් වර්ග වල විටමින් ඊ යම් ප්‍රමාණයක් අඩංගු වෙයි. එහෙත් විටමින් සී, විටමින් ඒ සහ කැල්සියම් ඇත්තේ අවම මට්ටමකයි. කුකුල් මස් කටු සමඟ අනුභව කරන්නේ නම් එමගින් කැල්සියම් ලබාගත හැකියි. සතුන්ගේ අවයව වල කොලෙස්ටරෝල් අධික බවද මතකයේ තබාගන්න.
by Sachini Sooriyaarachchi
Photo Source: Internet
2267 Views
Comments