ගුලාබ් ජමුන් - Gulab Jamun

ලිපි කිහිපයකින්ම අපි ඔයාලට ඉන්දියාවේ රසකැවිලි කිහිපයක රෙසපි අරන් ආවා. අද අපි ඔයාලට ඒ වගේම තවත් රසවත් ඉන්දීය රසකැවිල්ලක් වන ගුලාබ් ජමුන් හදාගන්න විදිහ තමයි කියල දෙන්නේ.
" ගුලාබ් " යන්නෙහි තේරුම තමයි " රෝස " ජමුන් යන්නෙහි තේරුම " ජමුන් නමින් හදුන්වන බෙරි වර්ගයක් " . රෝස වතුර යොදා මෙය සකසන නිසාත් බෙරි වර්ගයක් වන ජමුන් බෙරි වල හැඩයට සමානව මෙය සකසන නිසාත් මෙය ගුලාබ් ජමුන් ලෙස හදුන්වනවා.
විවිධ උත්සව අවස්ථාවන්ට විශේෂයෙන්ම ඔවුන් එකතුකරගන්න මේ රසකැවිල්ල ඉන්දියාවේ සෑම රසකැවිලි කඩයකම මිලදී ගැනීමටත් අනිවාර්යයෙන්ම තියෙනවා. ලංකාවෙත් ඔයාලා දැකලා වගේම කාලා ඇති.
කඩවල නම් දවස් ගනන් මේ ගුලාබ් ජමුන් තියෙනවනෙ ඒ නිසා නැවුම් බවින් අඩුයි. නැවුම් ගුලාබ් ජමුන් කන්නනම් ඔයාලට ගෙදරදිම පහසුවෙන් හදාගන්න පුළුවන්. එහෙම හදාගත්ත නැවුම් ගුලාබ් ජමුන් හරිම රසවත්. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම හදලා සවස තේ මේසයට හෝ ගෙදරට එන අමුත්තන්ට රස බලන්න පිළිගන්වන්න.
අවශ්‍ය ද්‍රව්‍ය,
- පාන් පිටි ග්‍රෑම් 50 ක්
- කිරි පිටි ග්‍රෑම් 100 ක්
- බේකින් පවුඩර් තේ හැන්දක්
- කුඩු කර ගත් එනසාල් තේ හැඳි භාගයක්
- එනසාල් ඇට 04 ක්
- එළගිතෙල් මේස හැඳි 03 ක්
- සීනි ග්‍රෑම් 100 ක්
- වතුර මිලිලීටර් 200 ක්
- රෝස වතුර තේ හැන්දක්
සාදාගන්නා ආකාරය,
භාජනයක් ගෙන එයට පාන් පිටි , කිරි පිටි සහ බේකින් පවුඩර් එකතු කර මිශ්‍ර කරන්න. ඉන්පසු එයට එළගිතෙල් සහ එනසාල් කුඩු ටිකත් එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගන්න. අනතුරුව සාදාගත් මිශ්‍රණයෙන් පොඩි බෝල සකසා පසෙකින් තබන්න. සාදාගත් බෝල ගැඹුරු තෙලේ රන්වන් පාට වනතුරු බැදගන්න.
වෙනත් භාජනයක් ලිප තබා වතුර සහ සීනි එකතු කර පත් පැණි සාදාගන්න. එයට රෝස වතුර සහ එනසාල් ඇට ටික එකතු කර මද වේලාවකින් එයට කලින් බැදගත් ගුලාබ් ජමුන් ටිකත් එකතු කර කලවම් කර ලිපෙන් ඉවතට ගන්න. හොඳින් පැණි එක බැදගත් ගුලාබ් ජමුන් ටිකට උරාගන්න පසෙකින් තබන්න. ඉන්පසු පිළිගන්වන්න.
by Kaushalya De Silva
Photo source : Internet
2806 Views
Comments