e-class: 7 ශ්‍රේණිය විද්‍යාව - 1
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
12

e-class: 7 ශ්‍රේණිය විද්‍යාව - 1

e-class: 7 ශ්‍රේණිය විද්‍යාව - 1

ආදරණීය දුවේ පුතේ ඔයාලගේ පාසල් නිවාඩු කාලය වඩාත් අර්ථවත්ව ගතකිරීම ඉතාමත් වැදගත්. විනෝද වීම පමණක්ම නොව අධ්‍යාපන කටයුතුවලටද අවධානය යොමුකිරීම ඔයාලා කරන්නම ඕනි. විද්‍යාව විෂය ධාරාවට අයත් පාඩම් කිහිපයක් ආශ්‍රිතව ඔබට ඉදිරිපත් කරන මෙම පාඩම් පෙළ බලන්න කෙතරම් වටිනවාද කියලා. මුලින්ම අපි ඉදිරිපත් කරන්නේ ශාක විවිධත්වය පිළිබඳවයි.

ශාක පිළිබඳව සඳහන් කිරීමේදී අපට මල් සහ ගෙඩි හෙවත් පුෂ්ප සහ ඵල මතකයට නැගෙනවා නේද. නමුත් සෑම ශාකයකම පුෂ්ප හටගනී ද. අප අවට පරිසරයේ විවිධ ශාක වර්ග දක්නට ලැබේ. එම ශාක විශේෂ පුෂ්ප හටගන්නා ශාක මෙන්ම පුෂ්ප හට නොගන්නා ශාක වශයෙන් වර්ග කළ හැකියි. පුෂ්ප හටගන්නා ශාක සපුෂ්ප ශාක ලෙස හැඳින්වෙන අතර පුෂ්ප හට නොගන්නා ශාක අපුෂ්ප ශාක ලෙස හඳුන්වයි. දූලා පුතාලා ඔබ අවට පරිසරයේ ඇති සපුෂ්ප ශාක හොඳින් නිරීක්ෂණය කර තිබෙනවා ද. ඒවා විවිධ ප්‍රමාණයෙන් යුක්තයි. ඉතා කුඩා ශාක මෙන්ම විශාල වෘක්ෂ ද ඒ අතර තිබේ ඒවායේ කන්ද මුල් පත්‍ර ආදිය මෙන්ම පුෂ්ප සහ ඵල ද එකිනෙකින් වෙනස්. ශාක විශාලත්වයෙන්ද රූපීය ලක්ෂණ අනුවද විශාල විවිධත්වයක් දරයි. නමුත් සියලුම සපුෂ්ප ශාක වලට පොදු කොටස් කිහිපයක් තිබෙන බව ඔබ දන්නවාද.

සපුෂ්ප ශාකවල සුවිශේෂී ලක්ෂණය වන්නේ පුෂ්ප හට ගැනීමයි. බොහෝ ශාකවල කඳ පත්‍ර මුල් අංකුර පුෂ්ප සහ ඵල ආදී සියලුම කොටස් දක්නට ඇත. නමුත් විවිධ ශාක වල මෙම කොටස් අතර විශාල විවිධත්වයක් පවතී. සාමාන්‍යයෙන් ශාකවල මූල පද්ධතිය පස තුළ පවතින අතර එය ආකාර දෙකකින් පැවතිය හැකිය. සමහර ශාක වල කඳේ පාදයෙන් හටගන්නා ප්‍රධාන මුලක් ඇති අතර එය මුදුන් මුල වශයෙන්ද එම මුදුන් මුලෙන් හටගන්නා ශාක මුල් පාර්ශවික මුල් වශයෙන්ද හඳුන්වයි. මෙවැනි මූල පද්ධතියක් මුදුන් මූල පද්ධතියක් ලෙස හඳුන්වන්න පුළුවන්. උදාහරණ වශයෙන් කුප්පමේනියා අඹ කජු යන ආදී ශාක දූලා පුතාලට නිරීක්ෂණය කළ හැකියි. තවත් සමහර ශාක වල කඳේ පාදයෙන් හටගන්නා කුඩා ප්‍රමාණයේ මුල් රාශියක් පවතී. එවැනි මූල පද්ධතියක් තන්තු මූල පද්ධතියක් ලෙස හඳුන්වන්නට පුළුවන්. උදාහරණ වශයෙන් පොල් පුවක් උණ කිතුල් යන ආදිය හඳුන්වන්නට පුළුවන්. ශාකය පසට සවි කිරීම, ජලය සහ ජලයේ දියවූ කනිජලවන අවශෝෂණය කිරීම, ඇතැම් ශාක මුල් මඟින් අලුත් ශාක ඇති කිරීම යනාදී කාර්යයන් ශාකයක මුල මගින් සිදුකරන බව ඔයාලා මතක තබාගන්න.

දූලා පුතාලා විසින් නිරීක්ෂණය කර ඇති ශාක කඳන් වල ස්වභාවය මොහොතකට සිහිපත් කරන්න. ඉතා ශක්තිමත් කඳන් ගණකම් පොතු සහිත කඳන් මෙන්ම විවිධ වර්ණවලින් යුතු කඳන් ද ඔබ නිරීක්ෂණය කරන්නට ඇති. එමෙන්ම වෙනත් ආධාරක වල වෙලී ඉහළ වැඩෙන දුර්වල කඳන් සහිත ශාක ද බිම දිගේ දුවන දුර්වල කඳන් සහිත ශාක ද ඒ අතර තිබෙන්නට ඇති. මේ කුමන ආකාරයේ කන්දක් වුණත් ඒවායේ දැකිය හැකි මූලික වෙනස්කම වන්නේ සමහර ශාක කඳන් අතු බෙදී තිබීමත් තවත් සමහර ශාක කඳන් අතු බෙදී නොතිබීමත්ය. ශාකයක කඳ මගින් ඉටුවන ප්‍රධාන කාර්යයන් කිහිපයක් පවතින බව ඔබ දන්නවාද. පුෂ්ප පත්‍ර අංකුර ඵල සහ බීජ දරාසිටීම, සන්ධාරකතාව ලබාදීම, ආහාර සහ ජලය ගමන් කිරීම, අලුත් ශාක ඇති කිරීම, කොළ පැහැති කඳක් සහිත ශාක විසින් ප්‍රභාසංස්ලේෂණය සිදු කිරීම නාදිය කද මගින් ඉටුවන ප්‍රධාන කාර්යන් කිහිපයක් බව දූලා පුතාලා මතකයේ තබාගන්න. සාමාන්‍යයෙන් කන්ද පස්සෙන් ඉහලට වර්ධනය වන නමුත් පස තුළ පිහිටන කඳන්ද පවතී. ඒවා භූගත කඳන් යන නමින් හඳුන්වයි. ඒවාට උදාහරණ වශයෙන් ඉඟුරු අර්තාපල්, කිරි අල, ලීක්ස් යනාදිය පෙන්වන්නට පුලුවන්.


තවත් මෙවැනිම විද්‍යා පාඩමකින් නැවත හමුවෙමු.

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

Photo source : Internet

views

2529 Views

Comments

arrow-up