7 ශ්‍රේණිය - ඉතිහාසය: දෙවන සේන රජතුමා

ආදරණීය දුවේ පුතේ මේ ඔබගේ ඉතිහාසය පාඩම් මාලාවේ එන තවත් එක් වැදගත් කොටසක්. මෙහිදී දෙවන සේන රජතුමා පිළිබඳව දූලා පුතාලට අවබෝධයක් ලබාදීමට අපේක්ෂා කෙරේ.
දෙවන සේන යනු පළමුවන සේන රජුගේ සහොදරයෙකු වූ පාණ්ඩ්‍ය ආක්‍රමණයේ දී මියගිය කස්සප ආදිපාදගේ පුතෙකි. පළමුවන සේන රජුගේ අභාවයෙන් පසුව එවකට යුවරජ තනතුර දරමින් සිටි දෙවන සේන රජකමට පත්විය. ඔහුගේ රාජ්‍ය කාලය වසර 35ක් පමණ වන අතර එම කාලයේ දී රටේ සාමය පැවතුණි. දේශපාලන වශයෙන් පැවති සාමකාමී තත්ත්වය නිසා රටේ පැරැණි ශ්‍රී විභූතිය නැවත ඇති කරමින් ආර්ථික සහ ශාසනික ක්ෂේත්‍රයේ විශාල වැඩකොටසක් සිදු කිරීමට දෙවන සේන රජුට හැකියාව ලැබුණි. පළමුවන සේන රජුගේ කාලයේ දී සතුරු ආක්‍රමණ නිසා විනාශ වූ සියල්ල යළි ගොඩනැගීමේ කටයුතු දෙවන සේන රජු විසින් සම්පූර්ණ කරන ලදී. ශාසනික චිරස්ථිතිය සඳහා සිදු කළ සේවයට අමතරව මිහින්තලේ රෝහලක් කරවීම, මහවැලි ගඟේ මණිමේකලා නම් ප්‍රදේශයේ අමුණක් අලුත්වැඩියා කිරීම, මින්නේරිය වැවේ සොරොව්වක් තැන වීම ආදිය දෙවන සේන රජුගේ මහජන සුබසිද්ධියට අදාළ කටයුතු වලට උදාහරණ කීපයකි.
පාණ්ඩ්‍ය රාජධානිය ආක්‍රමණය කිරීම ඔහුගේ රාජ්‍ය කාලයේ කැපී පෙනෙන සිදුවීමකි. පළමුවන සේන රජුගේ කාලයේ පාන්ඩ්‍යයන් මෙරට ආක්‍රමණය කොට වස්තුව පැහැරගෙන යාම ගැන මේ රජුගේ සිතේ වේදනාවක් තිබෙන්නට ඇත. එබැවින් සිදුවූ අපකීර්තිය මකා දමා පඬියන් පැහැරගෙන ගිය වස්තුව යළි මෙරටට රැගෙන ඒමට එතුමා අවස්ථාවක් සොයමින් සිටින්නට ඇත. දෙවන සේන රජු තම දක්ෂ සෙන්පතියෙකු වූ කුට්ඨක සෙනෙවියාගේ ප්‍රධානත්වයෙන් යුත් බලවත් හමුදාවක් පාණ්ඩ්‍ය දේශය ආක්‍රමණයට යැවීය. පාණ්ඩ්‍ය හමුදාව සහ ලාංකික හමුදාව අතර ඇතිවූ සටනෙන් පාණ්ඩ්‍ය හමුදාව පරාජයට පත්විය. පාණ්ඩ්‍ය අගනුවර වූ මධුරාපුරය ටලා ලාංකික හමුදාව එල්ල කළ ප්‍රහාරයෙදී ශ්‍රී මාර ශ්‍රී වල්ලභ නම් පාණ්ඩ්‍ය රජු ද මරණයට පත් විය.
වරගුණවර්මන් කුමාරයා ලාංකික හමුදාව විසින් පාණ්ඩ්‍ය සිංහාසනයට පත් කරන ලදී. මෙහිදී පාන්ඩ්‍යයන් ලංකාවෙන් පැහැරගෙන ගොස් තිබූ වස්තුව පමණක් නොව ඔවුන්ගේ වස්තු සම්භාරයක් ද රැගෙන ලාංකික හමුදාව ජයග්‍රාහී ලීලාවෙන් යළි මෙරටට පැමිණියහ. දෙවන සේන රජු ලැබූ මෙම ජයග්‍රහණය ගැන මෙරට සෙල්ලිපි කිහිපයක සඳහන් වේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි ඉරිපින්නියාව නම් ස්ථානයෙන් ලැබුණු සෙල්ලිපියක සඳහන් වන්නේ පාණ්ඩ්‍ය ආක්‍රමණය මෙහෙය වූ සෙනෙවියා පිළිබඳවයි. ඇත්තෙන්ම දෙවන සේන රජතුමා දක්ෂ මෙන්ම දේශයට හිතැති රජ කෙනෙකි. ඔහුගේ රාජ්‍ය කාලය තුළ රටට සිදුකළ මෙහෙය කියා නිම කළ නොහැකි තරම්.
by Sachini Sooriyaarachchi
Photo source : Internet
5964 Views
Comments