6 ශ්‍රේණිය සෞඛ්‍යය: නිවැරදි ඉරියව් මගින් පෞරුෂය වර්ධනය

දුවේ පුතේ මේ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ තවත් එක් වැදගත් විෂය කොටසක්. මෙහිදී නිවැරදි ඉරියව් මගින් පෞරුෂය වර්ධනය කරගන්නා ආකාරය පිළිබඳව දැනුවත් කිරීමට අපේක්ෂා කෙරේ. සිරුරේ පෙනුම සහ සෞඛ්‍යය තත්ත්වය වර්ධනය කර ගැනීම සඳහා ස්වස්ථතාව සහ නිවැරදි ඉරියව් ඉතා වැදගත්. මේ නිසා පෞද්ගලික ස්වස්ථතාව පවත්වාගනිමින් නිය දත් කෙස් සහ ශරීරය පිරිසිදුව පවත්වා ගැනීමට සැලකිලිමත් විය යුතුයි. එසේම එදිනෙදා ක්‍රියාකාරකම් වල දී නිවැරදි ඉරියව් භාවිතය මගින් කාර්යක්ෂමව කාර්යය ඉටුකර ගැනීමටද අනතුරු අවම කර ගැනීමට ද උත්සාහ කළ යුතුයි. නිවැරදි ඉරියව් අනුගමනය කිරීමෙන් ශරීරයේ පෙනුම වැඩි දියුණු වේ.
නිවැරදි ඉරියව් ලෙස හඳුන්වන්නේ යම්කිසි අවස්ථාවක ශරීරය තබා ගන්නා නිවැරදි අාකාරය යි. එනම් එදිනෙදා කටයුතු කිරීමේදී හිස-කඳ අත් සහ පාද එකිනෙකට ගැලපෙන ආකාරයට තබා ගන්නා අන්දමයි. ඉරියව් පවත්වා ගැනීමේදී අපගේ ශරීරයේ කොඳුඇටපෙල ප්‍රධාන අංගයක්. සමබරතාව රැකෙන පරිදි කොඳු ඇට පෙළෙහි දෙපස සමාන වන ලෙස බර යෙදීම මෙහිදී ඉතා වැදගත්. සිටගැනීම ඇවිදීම ඉඳගැනීම වැතිරීම නිවැරදි ඉරියව් පවත්වා ගත යුතු අවස්ථා කිහිපයකි. නිවැරැදිව සිට ගැනීම යනු හිස සහ කොඳු ඇට පෙළ සෘජුව තබා ගැනීමත්, කන උරහිස වැලමිට උකුළ වළලූකර යන ස්ථාන සිරස් සරල රේඛාවක පිහිටා තිබීමත් සහ පාද දෙක මදක් ඈත් කර ශරීරයේ බර සමතුලිතව බෙදී යන අන්දමට තබාගැනීමත් වේ. සීරුවෙන් සිටීම පහසුවෙන් සිටීම සහ සිත් සේ සිටීම සිට ගැනීමේ නිවැරදි ඉරියව් කිහිපයකි.
නිවැරදිව ඇවිදීම ද දරුවන් විසින් අනිවාර්යයෙන් ම ප්‍රගුණ කළ යුතුයි. පළමුවෙන්ම පොළොවට ස්පර්ශ කළ යුත්තේ විලුඹ යි. ඉන්පසු පතුලේ මැද කොටස වන පාද කොට්ටායි. මට සුනාමියට පාද ඇගිලි ය. සිරුර සමබරව සහ ලිහිල්ව තබා ගත යුතුයි. එදිනෙදා ජීවිතයේ කටයුතු කිරීමේදී අපට නොයෙකුත් ක්‍රියාකාරකම්වල යෙදීමට සිදුවේ. බර එසවීම සහ පහතට ගෙන ඒම, උපකරණ තල්ලු කිරීම ආදිය එවැනි ක්‍රියාකාරකම් කිහිපයකි. මෙම ක්‍රියාකාරකම් නිවැරදි ඉරියව්ව සිට සිදු නොකළහොත් කොඳුඇටපෙල ඇතුළු අස්ථි සහ මාංශ පේශීන්ට හානි සිදුවේ. ඔබට එසවිය හැකි වරක් පමණක් එසේ විය යුතු අතර දනහිස් වලින් පාද නමා සිරුරේ සමබරතාව රැකෙන පරිදි බර එසවීම කළ යුතුයි. ඔසවන සහ පහතට ගෙන එන බර හැකිතරම් සිරුරට ආසන්නව තබා ගත යුතු අතර අත්වලින්ම එම බර දරාගත යුතුයි.
සිරුරේ සමබරතාව රැකෙන පරිදි පාද තබා ගත යුතුය. තල්ලු කිරීම සහ ඇදීම දෑතම යොදා කළ යුතු අතර ඔබට දැරිය හැකි බරක් පමණක් තල්ලු කිරීම හෝ ඇදීම කළ යුතුයි. වැරදි ඉරියව් නිසා ඇති විය හැකි හානිකර තත්ත්වයන් ගණනාවක්ම පවතී. පේශි අස්ථි සහ සන්ධිවලට ආබාධ ඇතිවීම, අනතුරු වලට භාජනය වීම, ළමා වියේදී වැරදි ඉරියව් භාවිතයෙන් වැඩිහිටිවියේදී ඉක්මනින් ආබාධ වලට පත්වීම, වැරදි ඉරියව් දිගටම භාවිතා කිරීම නිසා ඒවායින් මිදීමට නොහැකි වීම, ආබාධ ඇතිවීම හේතු කොටගෙන කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව අඩුවීම එවැනි හානිකර තත්ත්වයන් කිහිපයකි. සෞඛ්‍යාත්මකව වඩාත්ම උචිත වන්නේ උරහිස පටි සහිතව පිටෙහි එල්ලා ගෙන යන බෑග් මාදිලියයි. එහි උස එහි යටි දාරය තට්ටමෙහි පහළ මට්ටම නොඉක්මවන ලෙස විය යුතුයි. පාසලේ බෑගයේ ඇසුරුම් කර ගැනීමේදී බරවැඩි පොත් සිට ලඟට වන ලෙසත්, ඇතුළත දෑ එහාමෙහා නොවන ලෙසත් බෑගය හොඳින් අසුරා ගත යුතුයි. පාසල් කාල සටහනට අනුව එදිනට අවශ්‍ය දේවල් පමණක් දරුවන්ගේ පාසැල් බෑගයට දැමීමට දෙමවුපියන් වගබලා ගත යුතුයි.
by Sachini Sooriyaarachchi
Photo source : Internet
4712 Views
Comments