6 ශ්‍රේණිය පුරවැසි අධ්‍යාපනය : පාසල් සංවිධාන ව්‍යුහය
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
01

6 ශ්‍රේණිය පුරවැසි අධ්‍යාපනය : පාසල් සංවිධාන ව්‍යුහය

6 ශ්‍රේණිය පුරවැසි අධ්‍යාපනය :  පාසල් සංවිධාන ව්‍යුහය

දුවේ පුතේ මේ ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ ඔයාලට අලුත්ම සහ රසවත්ම පාඩම් පෙළක්. පුරවැසි අධ්‍යාපනය විෂයට අයත් පාඩම් කොටස් මෙතැන් සිට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරේ. පාසල් සංවිධාන ව්‍යුහය පිළිබඳව මෙහිදී අවශ්‍ය කරන දැනුම ලබාදීමට අපේක්ෂා කරයි.

පාසලේ සංවිධාන ව්‍යුහය යනු පාසලේ පරිපාලන හා සංවර්ධන කටයුතු සංවිධානය වී ඇති ආකාරයයි. පාසලක ශිෂ්‍ය සංඛ්‍යාව ගුරු සංඛ්‍යාව අනුව මෙම සංවිධාන ව්‍යුහය වෙනස් විය හැකියි. ඔබේ පාසලේද එවැනි සංවිධාන ව්‍යුහයක් පවතින බව දූලා පුතාලා දන්නවාද. පාසල් සංවිධාන ව්‍යුහයක විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති, සහකාර විදුහල්පති, අංශ ප්‍රධාන, ගුරුවරුන්, අනධ්‍යන කාර්ය මණ්ඩලය, ශිෂ්‍ය නායක නායිකාවන් සහ ශිෂ්‍යයන් ලෙස විවිධ භූමිකා රැසක් දක්නට ලැබේ. අධ්‍යාපන කටයුතු වල නියමුවා ලෙස ක්‍රියා කිරීම, ළමයින් ඇතුළත් කිරීම ඔවුන් පන්ති වලට බෙදීම සහ ගුරුවරුන් නම් කිරීම, කාලසටහන් සකස් කිරීම සහ ඒ අනුව පන්ති වල ඉගැන්වීම් කටයුතු සංවිධානය කිරීම, ගුරු මණ්ඩලයේ සංවර්ධනය සම්බන්ධ කටයුතු සහ ගුරු සුභසාධන කටයුතු දියත් කිරීම, ඉගැන්වීම් කටයුතු අධීක්ෂණය, ගුරු ඇගයීමේ කටයුතු, ශිෂ්‍ය ඇගයීම් කටයුතු සහ සිසු විනය පිළිබඳ සොයා බැලීම විදුහල්පතිගේ කාර්යභාරය යි.

ශිෂ්‍ය ශිෂ්‍යයාවන් විනයවත් කිරීම සහ හික්මවීම, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නිවැරදි මගපෙන්වීම සහ චරිත සංවර්ධනය, විෂයට අදාළ දැනුම ආකල්ප සහ කුසලතා වර්ධනය, පිළිගත් නීති රීති සහ සාරධර්ම අනුව කටයුතු කිරීම, පාසල් පාදක ඇගයීම් සිදු කිරීම, පන්ති කාමරය තුළ ප්‍රිය ජනක පරිසරයක් පවත්වාගෙන යාම, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සමානාත්මතාවයෙන් යුතුව සැලකීම, ශිෂ්‍ය ශිෂ්‍යයාවන් යහපතෙහි යෙදවීම සහ සමාජයට හඳුන්වා දීම ගුරුවරුන් සතු කාර්යභාරය යි. පාසලේ කටයුතු පවත්වාගෙන යාමට විදුහල්පතිට සහ ගුරු මණ්ඩලයට සහාය වීම, පාසලේ ළමයින් ගේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් සපයාදීමට සහයවීම, පාසල් භූමියේ පවිත්‍රතාව සහ අලංකාරය පවත්වාගෙන යාමට සහය වීම, ආරක්ෂක කටයුතු සඳහා සහාය වීම, ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග සුහදව කටයුතු කිරීම අනධ්‍යයන කාර්යමණ්ඩලයට පැවරෙන කාර්යභාරය යි.

දිනපතා පාසල් පැමිණීම, හොඳින් ඉගෙනීමේ කටයුතුවල යෙදීම, විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලයට ගෞරව කිරීම, පාසලේ අනෙකුත් ළමයි සමග සහයෝගයෙන් සහ සමගියෙන් කටයුතු කිරීම, පාසලේ ගෞරවය ආරක්ෂා වන පරිදි සෑම විටම හැසිරීම, පාසලේ සම්පත් ආරක්ෂා කිරීම යනාදිය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ කාර්යභාරයයි. ඉහතින් සඳහන් කර ඇති යුතුකම් සහ වගකීම් එකිනෙකා විසින් ඉටු කිරීම පාසල ගුණාත්මක භාවය කරා ගෙන යාමටත් සංවර්ධනයටත් මහෝපකාරී වේ.

 

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

Photo source : Internet

views

9211 Views

Comments

arrow-up