10 ශ්‍රේණිය- ගිණුම්කරණ: චෙක්පත්
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
24

10 ශ්‍රේණිය- ගිණුම්කරණ: චෙක්පත්

10 ශ්‍රේණිය- ගිණුම්කරණ: චෙක්පත්

චෙක්පත් මගින් ගණුදෙණු සිදුකිරීමේදී අගරු චෙක්පත් සටහන් කිරීමත් සහ අගරු චෙක්පත් පිළිබඳ දැනුවත්භාවය ඉතාම වටිනවා. පුද්ගලයකු විසින් තැම්පත් කරන චෙක්පතකට බැංකුව විසින් මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කිරීම චෙක්පත අගරු වීම ලෙස සලකනවා. මේ සඳහා විවිධ හේතුන් බලපානවා
1. චෙක්පතක් නිකුත් කලත් අදාල බැංකු ගිණුමේ ප්‍රමාණවත් තරම් මුදලක් නොතිබීම
2. චෙක්පතේ අත්සන ආදර්ශ අත්සනට වෙනස් වීම
3. චෙක් පත අවිධිමත් ලෙස ලියා තිබීම

මෙවැනි හේතු නිසා බැංකුව විසින් චෙක්පත් වලට ගෙවීම් ප්‍රතික්ෂේප කරනවා. ව්‍යාපාරය විසින් නිකුත් කරන චෙක්පත් වගේම ව්‍යාපාරයට ලැබෙන චෙක්පත් වලට ගෙවීම් ඒ විදියට ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්.

බැංකුව යම් චෙක්පතක් ගෙවීම ප්‍රතික්ෂේප කළහොත් ඒ චෙක්පතට අදාළ අගරු නිවේදනය ජංගම ගිණුම් හිමියාට එවනු ලබනවා. එම අගරු චෙක්පත් නිවේදනය පදනම් කර ගෙන එය මූලාශ්‍ර ලේඛනයක් ලෙස යොදාගෙන ගනුදෙනු බැංකු ගිණුමේ සටහන් කරන්න පුළුවන්.

අගරු චෙක්පත් වර්ග දෙකක් තියෙනවා.


1. තැන්පත් කළ අගරු චෙක්පත්


මේ චෙක්පත් අගරු වීම සිදුවන්නේ ව්‍යාපාරයට පිටතින් චෙක්පතක් ලැබුණු අවස්ථාවකදී. ඒ කියන්නේ ව්‍යාපාරය ණයට විකුණුම් සිදුකළ ණයගැතියන්ගෙන් චෙක්පතක් ලැබුණු විට එය බැංකුවක තැන්පත් කළ අවස්ථාවේදී ඉහත සඳහන් හේතුන් නිසා එම චෙක් පත ප්‍රතික්ෂේප වෙනවා. බැංකුව විසින් මේ චෙක් පත් අගරු කළ විට සත්‍ය වශයෙන් බැංකු ශේෂය වැඩි වෙලා නැහැ. ඒ නිසා තැන්පත් කළ අවස්ථාවේ තිබූ හර සටහන අපේ බැංකු ගිණුමෙන් ඉවත් කළ යුතු වෙනවා. චෙක් පත ලබා දෙන්න පුද්ගලයා නැවත ව්‍යාපාරයට මුදල් ලබාදීමට වගකීමට බැඳෙනවා. උදාහරණයක් විදියට අපි හිතමු ණයගැතියෙකුගෙන් අපිට ලැබුණු චෙක් පත අගරු වෙනවා. එවිට එය ගිණුම් ගත කරන්නේ

   ණයගැති ගිණුම- හර
   බැංකු ගිණුම -බැර
ලෙසයි.

2. නිකුත් කළ චෙක්පත් අගරු වීම


නිකුත් කල චෙක්පත් අගරු වීම සිදුවෙන්නේ ව්‍යාපාරය විසින් වෙනත් පාර්ශවයකට නිකුත් කරනු ලැබූ චෙක් පතක් ඉහත සඳහන් දෝෂයන් ව්‍යාපාරය සිදුකළ හොත් ඊට ගෙවීම ප්‍රතික්ෂේප කිරීම නිසයි. ඒ අනුව චෙක්පත නිකුත් කළත් බැංකු ගිණුමෙන් සැබෑවටම මුදල අඩු වී නැහැ. ඒ නිසා කලින් තැබූ සටහනේ ප්‍රතිවිරුද්ධ සටහන තැබීම අවශ්‍ය වෙනවා. ඒ අනුව නිකුත් කළ චෙක්පත් අගරු වූ විට

      බැංකු ගිණුම-හර
      අදාල ණය හිමි ගිණුම/වියදම් ගිණුම-බැර

ලෙස සටහන් කරනවා. මේ විදියට සටහන් තැබීමෙන් අදහස් වෙන්නේ අපි නැවත අදාළ ණය හිමියාට හෝ වියදම ගෙවීම සඳහා වගකීමට බැඳී සිටින බවයි. ඒ වෙනුවෙන් මුදලින් හෝ නිවැරදි චෙක් පතක් නිකුත් කිරීමෙන් ඒ වගකීම අපිට පියවිය යුතු වෙනවා

 

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

5846 Views

Comments

arrow-up