10 ශ්‍රේණිය- ගිණුම්කරණ: බැංකු සැසඳුම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
24

10 ශ්‍රේණිය- ගිණුම්කරණ: බැංකු සැසඳුම්

10 ශ්‍රේණිය- ගිණුම්කරණ: බැංකු සැසඳුම්

බැංකු සැසදුම් ප්‍රකාශය කියලා කියන්නේ ව්‍යාපාරයේ ජංගම ගිණුමේ තොරතුරු ඇතුළත් කරමින් මාසය අවසානයේ බැංකුව විසින් එවනු ලබන බැංකු ප්‍රකාශයත් මාසය පුරාවටම බැංකුව සමග සිදු කළ ගනුදෙනු වාර්තා කරමින් අපි සකස් කරන බැංකු ගිණුමත් අතර ශේෂයන්ගේ වෙනසට බලපාන හේතු සොයාගනිමින් පිළියෙළ කරනු ලබන ලේඛනයයි. බැංකු සැසදුම් ප්‍රකාශය නිවැරදිව සකස් කිරීමට ඔබ ශේෂයන් අතර වෙනසට බලපාන හේතු මොනවාද කියන එක පිළිබඳව අවබෝධයක් ලබාගැනීම අනිවාර්ය වෙනවා. ඒ අනුව ව්‍යාපාරය විසින් සකස්කරන බැංකු ගිණුමේ ශේෂය බැංකුව විසින් ව්‍යාපාරයට එවනු ලබන බැංකු ප්‍රකාශයේ ශේෂයත් අතර වෙනසට හේතු මොනවාදැයි බලමු.

1. නිකුත් කළ නමුත් ගෙවීම් සඳහා බැංකුවට ඉදිරිපත් නොකළ චෙක්

මෙය සිදුවන්නේ ව්‍යාපාරය වෙනත් පාර්ශ්වයක් වෙනුවෙන් වගකීම් පියවීම සඳහා චෙක්පත් නිකුත් කරනවා. නමුත් ඒ පුද්ගලයන් චෙක්පත ලැබෙන දිනයේදීම බැංකුව වෙත ගොස් ඒවා මුදල් කරගන්න උත්සාහ කරන්නේ නැති අවස්ථාවන්වලදී. ඒ කියන්නේ අපි බැංකු ගිනුමේ චෙක් පතක් නිකුත් කළ බව සටහන් කළත් බැංකු ගිනුමේ ශේෂය බැර කළත් බැංකුව සැබෑවටම ඒ මුදල අඩු කරගෙන නැහැ. ඒ නිසා බැංකු ප්‍රකාශයේ ශේෂය එම වටිනාකමින් සැබෑවටම අඩු වී නැහැ. මේ හේතුවෙන් බැංකු ගිණුමේ ශේෂයට වඩා බැංකු ප්‍රකාශයේ තියෙන ශේෂය වැඩි අගයක් ගන්නවා.

2. තැම්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක්

ව්‍යාපාරයට ලැබෙන චෙක් පත අදාල දිනයේදීම බැංකුගත කලත් බැංකුව විසින් නිෂ්කාශනය කර මුදල් අපේ ගිණුමට බැර කර නොමැති අවස්ථාවකදී මෙවැනි තත්ත්වයක් ඇතිවෙනවා. උදාහරණයක් විදිහට ඔබ සිතන්න ව්‍යාපාරයට මාසෙ අන්තිම දිනයේ ලැබුණු චෙක් පත අපි බැංකු ගිණුමේ හර ලෙස සටහන් කරනවා. නමුත් එය බැංකුවේ තැන්පත් කළ පසු නිෂ්කාශන වන්නේ ඊළඟ මාසේ පලවෙනි දිනයි. එවැනි ගනුදෙනුවකදී අපේ බැංකු ගිණුමේ ශේෂය වැඩිපුරත් බැංකුව විසින් එවනු ලබන බැංකු ප්‍රකාශය ශේෂය අඩුවෙනුත් පෙන්නුම් කරනවා.

3. ඍජු ප්‍රේෂණ හා ස්ථාවර නියෝග මත ගෙවීම්

ඍජු ප්‍රේෂණ ලෙස හඳුන්වන්නේ සමහර ගනුදෙනුකරුවන් ව්‍යාපාරයට ලැබිය යුතු ගෙවීම් ව්‍යාපාරයේ බැංකු ගිණුමටම තැන්පත් කරනවා. නැත්නම් යම් ආයෝජනයක ප්‍රතිලාභ ඍජුවම බැංකු ගිණුමට බැර වෙනවා. නමුත් එලෙස තැන්පත් කළ බව ව්‍යාපාරයට මුලින්ම වාර්තා වන්නේ නැහැ. මෙවැනි අවස්ථාවකදී ව්‍යාපාරයේ බැංකු ගිණුම අඩුවෙනුත් බැංකු ප්‍රකාශය ශේෂය වැඩියෙනුත් පෙන්නුම් කරනවා.
ව්‍යාපාරය ගනුදෙනු කිරීමේ පහසුව සඳහා ඇතැම් අවස්ථාවන් වල බැංකුවට ස්ථාවර නියෝග නිකුත්කර තියන්න පුළුවන්. හැම මාසෙකම යම් නිශ්චිත දිනයකදී අදාල දුරකතන ගාස්තු සහ විදුලි බිල් වැනි වියදම් සඳහන් සඳහා නිශ්චිත මුදලක් ජංගම ගිණුමෙන් ගෙවන ලෙස. එවැනි අවස්ථාවන් වලදී ව්‍යාපාරය මේ ගනුදෙනුව පිළිබඳ අවබෝධයක් නැහැ. ඒ නිසා ව්‍යාපාරයේ බැංකු ගිණුමේ මේ මුදල් අඩු වන්නේ නැහැ. මේ හේතුවෙන් ව්‍යාපාරය පිළියෙල කරන බැංකු ගිනුමේ ශේෂය වැඩියෙනුත් බැංකු ප්‍රකාශයේ එවනු ලබන ශේෂය අඩුවෙනුත් පෙන්වනවා.

4. බැංකු ගාස්තු සහ චෙක්පොත් ගාස්තු

ජංගම ගිණුම පවත්වාගෙන යාම සඳහා සහ ව්‍යාපාරයට බැංකුව විසින් අපට සපයන සේවාවන් සඳහා විවිධ ගාස්තු ඔවුන් අය කරනවා. මෙවැනි ගාස්තු අය කිරීම පිළිබඳ අපි දැනුවත් වන්නේ බැංකු ප්‍රකාශය අපි ලද පසුවයි. එතෙක් ව්‍යාපාරයේ බැංකු ගිණුමෙන් මේ මුදල් අඩුවී නැහැ. ඒ අනුව ව්‍යාපාරය පිළියෙල කරන බැංකු ගිණුමේ ශේෂය වැඩියෙනුත් බැංකු ප්‍රකාශය ශේෂය අඩුවෙනුත් පෙන්වනවා.

මෙවැනි හේතූන් නිවැරදිව ඔබ අවබෝධ කරගත් පසුව ඔබට පහසුවෙන් බැංකු සැසදුම් ප්‍රකාශය පිළියෙල කිරීමට හැකියාව ලැබේවි.

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source : Internet

views

1411 Views

Comments

arrow-up