7 ශ්‍රේණිය - ඉතිහාසය: රංග කලාව සහ ජනකවි
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
24

7 ශ්‍රේණිය - ඉතිහාසය: රංග කලාව සහ ජනකවි

7 ශ්‍රේණිය - ඉතිහාසය: රංග කලාව සහ ජනකවි

දුවේ පුතේ මේ ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ ඉතිහාසය පාඩම් මාලාවේ එන තවත් වැදගත් කොටසක්. මෙහිදී ශ්‍රී ලාංකේය රංග කලාව සහ ජනකවි පිළිබඳ ව අවබෝධයක් ලබාදීමට අපේක්ෂා කෙරේ. බලන්න එය කෙතරම් රසවත් මෙන්ම කාලීන අධ්‍යනයක් ද කියලා.

වර්තමානයේ අපේ සංස්කෘතිය සහ බැඳුණු රංග කලාවක් මෙරට පවතී. එයද අතීත උරුමයේ ප්‍රතිඵලයක්. රුවන්වැලි සෑයට මුල්ගල තැබීමේ උත්සවයේ දී දුටු ගැමුණු රජතුමා දිව්‍ය කන්‍යාවන් හා සම නාටිකාවන් සහ නොයෙක් තූර්ය නාදයන් සහිත සමූහයක් පිරිවරාගෙන පුදබිමට පැමිණි බව මහා වංශයේ සඳහන්. වර්තමානයේ ඇතැම් උත්සව වලට විශේෂ ආරාධිතයන් කැඳවාගෙන ඒමේ දී නැටුම් ගැයුම් තූර්යවාදන යොදාගනු ඔබ දැක ඇති. එය අතීතයේ සිට මෙරට පවතින සම්ප්‍රදායක් බව දුටුගැමුණු රජතුමා පිළිබඳ උදාහරණයෙන් පෙනේ. පළමුවන පරාක්‍රමබාහු රජුගේ කාලයේ දී විවිධ අවස්ථාවල නැටුම් ගැයුම් පැවති බව වාර්තා වේ. එතුමා නැටුම් ගැයුම් පැවැත්විය හැකි ගොඩනැගිලි පවා ඉදිකරවා ඇත. එම රජුගේ බිරිඳ වූ රූපවතී බිසව නැටුම් ගැයුම් සඳහා දක්ෂතාවක් තිබූ කාන්තාවක් වූ බව මහා වංශයේ සඳහන්.

ශ්‍රී ලංකාවේ අතීතයේ පැවති නැටුම් ගැයුම් ආදී කලා කටයුතු ගැන මහාවංශය කව්සිළුමිණ සහ සද්ධර්මාලංකාරය වැනි කෘතිවල සඳහන් වේ. දෙවන පරාක්‍රමබාහු රජතුමා නානාප්‍රකාර නැටුමෙන් සහ මධුර ගීතිකායෙන් යුත් උත්සවයක් පැවැත්වූ බවද මහා වංශය කියයි. අතීත නැටුම් ගැයුම් කටයුතුවලදී විවිධ බෙර වර්ග වීණාව නලාව වැනි තූර්ය භාණ්ඩ භාවිතා කර ඇත. මහනුවර ඇසළ පෙරහර මෙබඳු නැටුම් ගැයුම් දක්නට ලැබෙන තවත් අවස්ථාවකි. බොහෝවිට රංග කලාව ආගමික පුද පූජා පැවැත්වීම සඳහා යොදාගත් බව පැහැදිලියි. විසිතුරු ඇඳුමින් සැරසී විවිධ පුද පූජා පැවැත්වීම සඳහා ශිල්පීන් රංගනයේ යෙදී ඇත. වර්තමානයේ දී ආගමික උත්සව පමණක් නොව වෙනත් විවිධ උත්සව අවස්ථාවන් සඳහා ද නැටුම් ගැයුම් තූර්යවාදන යොදාගත් අවස්ථා ඔබ දැක ඇති.

ජනකවිය ද අපේ සංස්කෘතික උරුමයේ කොටසකි. මෙරට බොහෝ ප්‍රදේශවල ඒ ඒ ප්‍රදේශවලට ආවේනික වූ ජනකවි පවතී. එම ජන කවි වර්තමාන පරම්පරාවට ලැබී ඇත්තේ ඊට පෙර සිටි වැඩිහිටියන්ගේ ගායනා වලට සවන් දීමෙනි. එනම් මුඛ පරම්පරාගතව යි. එබැවින් ජන කවි සහ විවිධ ජන ගායනා ආදිය ද පරපුරෙන් පරපුරට පැවත ආ අස්පෘශ්‍ය උරුමයක් ලෙස සැලකිය හැකියි. ධාතුසේන රජතුමා කලා වැව තැන වීම ගැන අනුරාධපුර ප්‍රදේශයේ දී ජන කවි ගායනා කර ඇති බවද සඳහන්. එසේම දෙමාපියන්ගේ සහ වැඩිහිටියන්ගේ ගුණ ගායනා කිරීම, දරු සෙනෙහස ප්‍රකාශ කිරීම, බාල පරපුර සුමඟට ගැනීම, ඥාතීන් අතර සම්බන්ධතා ප්‍රකාශ කිරීම සඳහාද ජනකවිය යොදාගෙන තිබේ. ඒ අනුව සිතක උපන් සංවේදී හැඟීමක් නිර්මාණාත්මකව ප්‍රකාශ කිරීමත් එය තාලයකට අනුව ගායනා කොට වින්දනයක් ලබා ගැනීමත් ජනකවියෙන් සිදුවී තිබේ.

 

 

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

Photo source : Internet

views

1184 Views

Comments

arrow-up