6 ශ්‍රේණිය සෞඛ්‍යය: අවශ්‍යතා සහ ආශාවන් සපුරා ගැනීම
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
07

6 ශ්‍රේණිය සෞඛ්‍යය: අවශ්‍යතා සහ ආශාවන් සපුරා ගැනීම

6 ශ්‍රේණිය සෞඛ්‍යය:  අවශ්‍යතා සහ ආශාවන් සපුරා ගැනීම

දුවේ පුතේ මේ ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන්නේ ඔයාලගේ සෞඛ්‍ය සහ ශාරීරික අධ්‍යාපනය පාඩම් මාලාවේ එන එක් තවත් වැදගත් කොටසක්. මෙහිදී අවශ්‍යතා සහ ආශාවන් සපුරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව සාකච්ඡා කෙරේ.

අපි අපේ අවශ්‍යතා සහ ආශාවන් යන දෙකම සපුරා ගැනීමට කැමතියි නේද. අවශ්‍යතා ඉටුකර ගැනීමට ප්‍රමුඛතාවයක් දිය යුතු අතර ඇතැම් විට අවශ්‍ය මුදල් සහ පහසුකම් ඇත්නම් ආශාවන්ද ඉටුකර ගැනීමට අපට හැකි වේ. නමුත් ආශාවන්වලට සීමාවක් නැති බැවින් ඒවා ඉටුකර ගැනීමේදී තමාටත් අන් අයටත් හානියක් නොවන ලෙස වගබලා ගත යුතුයි. ආහාර ගැනීමේදී තමාගේ සෞඛ්‍ය තත්වයට ගැලපෙන ලෙස ආහාර වර්ග සහ ප්‍රමාණ තෝරා ගත යුතු වන අතර පවුලේ ආර්ථිකයට බරක් නොවන ලෙස අවශ්‍යතා සහ ආශාවන් ඉටු කර ගත යුතුයි. එමෙන්ම අවශ්‍යතා ඉටු කර ගැනීමේදී ප්‍රමුඛත්වය දිය යුත්තේ කුමකට දැයි සිතා බැලිය යුතු අතර ඔබගේ ආශාවන් ඉටුකර ගැනීමට දෙමව්පියන්ට කරදර නොකළ යුතුයි. ඔබ ඉතා ඝෝෂාකාරී සංගීතයට ඇලුම් කළා යැයි සිතන්න. නමුත් ඔබේ පවුලේ අය හෝ අසල්වැසියන් එයට අකමැති නම් ඔබ ඔවුන්ට කරදරයක් වන ලෙස කටයුතු කිරීමෙන් ඔවුන් සමඟ ගැටුම් ඇති වෙයි. ඔබට ඇති ආශාවක් ඉටුකර ගැනීමට මුදල් නැති විටෙක එය ලබාගැනීමට සොරකම් කිරීම වැනි නීතිවිරෝධී ක්‍රියාවලට යොමු වීම බලවත් වරදක්.

මාධ්‍ය වලින් පෙන්වන සෑම දේම අත්‍යවශ්‍ය නොවේ. වෙළඳ ප්‍රචාරණයේ දී භාණ්ඩ විකිණීම සඳහා සිත් ඇදගන්නා සුළු ලෙස ඒවා ඉදිරිපත් කර දැක්වීම සාමාන්‍ය දෙයකි. ඔබ නිවැරදි ලෙස අවශ්‍යතා හඳුනාගෙන ඒවා ඉටුකර ගැනීමට දක්ෂයෙකු විය යුතුයි. ආශාවන් පැවතියද තමාට මිලදී ගැනීමේ හැකියාව තිබුණද ඔබ අත්‍යවශ්‍ය දේ පමණක් තෝරා ගත යුතුය. උදාහරණයක් ලෙස එදිනෙදා ජීවිතයේදී භාවිතයට ගත හැකි පිරිසිදු ජලය ඉතා සීමිත සම්පතකි. එමනිසා එය නාස්ති කිරීම නොකළ යුතුයි. හැමවිටම භාවිතයෙන් පසු ජල කරාම වසා තැබීමට ඔබත් පුරුදු වන්න. එමඟින් අනාගත පරපුරට එම සම්පත රැක දීමට අපට දායක විය හැකියි. තමාට අවශ්‍ය ප්‍රමාණයට පමණක් සම්පත් භාවිතා කිරීමෙන් ද නැවත භාවිතා කළ හැකි දේ එසේ ප්‍රයෝජනයට ගැනීමෙන් ද ඉවත ලන දේ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි නම් එසේ කිරීමෙන් ද බෙදා හදා ගැනීමෙන් ද නාස්තිය අවම කළ හැකි යි. මේවා ඉටු කර ගැනීමේදී තමාගේ සෞඛ්‍ය තත්ත්වය ආර්ථික තත්ත්වය සමාජ සාරධර්ම සහ නීතී රීති ගැන සැලකිලිමත් විය යුතුය. බුද්ධිමත්ව තීරණ ගනිමින් සහ නාස්තිය අවම කරමින් අවශ්‍යතා සහ ආශාවන් ඉටු කර ගත යුතුයි.

 

 

 

 

 

 

 

by Sachini Sooriyaarachchi

Photo source ; Internet

views

616 Views

Comments

arrow-up