6 ශ්‍රේණිය සෞඛ්‍යය : සිරුරේ සංවේදී ඉන්ද්‍රියන්

දුවේ පුතේ මේ ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ ඔයාලගේ සෞඛ්‍ය සහ ශාරීරික අධ්‍යාපනය විෂයට අයත් තවත් එක් වැදගත් පාඩම් කොටසක්. මෙහිදී සිරුරේ පවතින සංවේදී ඉන්ද්‍රියන් පිළිබඳව අවශ්‍ය කරන දැනුම ලබාදීමට අපේක්ෂා කෙරේ.
ඇස කන නාසය දිව සම යන සංවේදී ඉන්ද්‍රියයන් මඟින් අපට අවට පරිසරයෙන් තොරතුරු ලබා ගැනීමට හැකිවේ. පරිසරයෙන් ලැබෙන ආලෝකය ඇසට වැටුණු විට පරිසරයේ ඇති දේ අපිට පෙනේ. අපගේ වැදගත්ම සංවේදී ඉන්ද්‍රිය වන ඇස ආරක්ෂා කිරීමට අපි වග බලා ගත යුතුයි. පොත් කියවීම පරිගණක භාවිතය සහ රූපවාහිනිය නැරඹීම වැනි කාර්යයන් වලදී ඇසට විවේකයක් ලබා දීම සඳහා විනාඩි දහයකට වරක් වත් එම කාර්යයෙන් ඉවත් වී ඈත බැලීම කළ යුතුයි. එමෙන්ම කොළ පැහැති පසුබිමක් අවට තිබීම කියවීමේ දී ඉතා සුදුසුයි. එවන් පසුබිමකදී ඇසට ඇතිවන විඩාව අවම වේ. ප්‍රමාණවත් තරම් ආලෝකය ඇති ස්ථානවල පොත් කියවීම කළ යුතු අතර විටමින් ඒ සහිත ආහාර දිනපතා ආහාරයට ගැනීම කළ යුතුයි. වෛද්‍ය උපදෙස්වලින් තොරව ඇසට බෙහෙත් හෝ වෙනත් ද්‍රව්‍ය නොදැමීම කළ යුතු අතර ඇසට දූවිලි ඇතුළු වුවහොත් පිරිසුදු ජලයෙන් සේදීම අවශ්‍ය වේ. කර්මාන්ත ශාලාවල සේවය කරන වඩුවැඩ තණකොළ කපන යන්ත්‍ර සහ වෙනත් යන්ත්‍ර සූත්‍ර භාවිතා කිරීමේ දී විවිධ දෑසට විසි වීමෙන් ආරක්ෂා වීමට ආරක්ෂක කණ්ණාඩි පැළඳීම කළ හැකියි. අධික හිරු රශ්මියට නිරාවරණය වන විට ප්‍රමිතියක් සහිත අව් කණ්ණාඩි පැළඳීම ද වැදගත් වන අතර රූපවාහිනිය සහ නරඹන්නා අතර දුර අවම වශයෙන් රූපවාහිනී තිරයේ පළල මෙන් 2.5 ගුණයක් වන ලෙස තැබීම කළ යුතුයි.
කන, බාහිර කන මැද කන සහ අභ්‍යන්තර කන ලෙස කොටස් තුනකට බෙදිය හැකියි. අවට පරිසරයේ ඇති ශබ්ද බාහිර කනේ ශ්‍රවණ නාලය දිගේ ඇතුළත කන දක්වා ගමන් කළ විට ඇසීම සිදුවේ. කනට හානි වන ක්‍රියාවලියෙන් වැළකී සිටීම ඉතාමත් වැදගත්. කිසිම අවස්ථාවක බාහිර කනට බෙහෙත් හෝ වෙනත් දියර ද්‍රව්‍ය නොදැමීම කළ යුතු අතර කනට කෘමියකු ඇතුළු වූ විට තෙල් ස්වල්පයක් හෝ තෙල් ලබා ගැනීමට වැඩි කාලයක් යයි නම් ලය ස්වල්පයක් දමා ආරෝග්‍ය ශාලාවක් වෙත රැගෙන යාම සුදුසුයි. කන පිරිසිදු කිරීමට කටු පුළුන් වැනි දේ දැමීම නුසුදුසු අතර අධික ශබ්දයෙන් යුතු සංගීතය හෝ වෙනත් ශබ්ද වලින් වැලකීම කළ යුතුයි. නාසයේ ඇති සෛල මගින් පරිසරය ගඳ සුවඳ පිළිබඳ පණිවිඩ ස්නායු ඔස්සේ මොලයට දන්වයි. එමගින් අපට ගඳ සුවඳ හඳුනාගැනීමට හැකිවේ. නාසයේ යමක් සිර වුවහොත් පිරිසිදු පොල් කෙන්දක් වැනි දෙයක් මගින් නාසය කිතිකැවීමෙන් කිවිසීමට සැලැස්වූ විට එය බොහෝදුරට පිටවේ. ඒ හැර නාසයට කිසිවක් ඇතුළු කිරීම සුදුසු නොවන අතර ආරෝග්‍ය ශාලාවක් වෙත වහාම රැගෙන යා යුතුයි.
කතා කිරීමට ආහාර මිශ්‍ර කිරීමට සහ රස දැමීමට දිව උපයෝගී වේ. අපගේ දිවට දැනෙන ප්‍රධාන රස හතරක් ඇත. පැණි රස ඇඹුල් රස තිත්ත රස සහ ලුණු රස එම රසයන් වේ. මෙම එක් එක් රස වඩාත් හොඳින් දැනීම සඳහා විශේෂිත වූ ස්ථාන දිවේ පිහිටා ඇත. ඔබ දත් මදින අවස්ථාවේදී දිව ද පිරිසිදු කර ගැනීමට මතක තබාගන්න. සම මඟින් කාර්යන් කිහිපයක් ඉටු කරනු ලැබේ. ආරක්ෂාව, ශරීරයට හැඩයක් සහ පෙනුමක් ලබාදීම, ශරීරයේ උෂ්ණත්වය පාලනය, දහදිය මගින් අපද්‍රව්‍ය පිට කිරීම එම කාර්යයන් කිහිපයකි. අප සතු විශාලම ඉන්ද්‍රිය වන සම ආරක්ෂා කර ගැනීමට අප වගබලාගත යුතුයි. ඉහත සඳහන් කළ සංවේදී ඉන්ද්‍රියන්ට අමතරව නිය කෙස් සහ දත් අප සිරුරේ පිටතින් පිහිටන වැදගත් ශරීර කොටස් වේ.
by Sachini Sooriyaarachchi
Photo source : Internet
2096 Views
Comments