e-class: O/L Science - ජීවයේ රසායනික පදනම

විද්‍යාව කියන්නේ අපේ ජීවිතත් සමග බද්ධ වුණු සංකල්ප, දේවල්. ඉතින් විද්‍යාව අමාරුවෙන් මතක තියාගන්න ඕනි වෙන්නේ නෑ . ඒවා ඔබේ ජීවිතයට බද්ධ කරගත්තොත්.
ජීවීන් කියන්නේ කව්ද ? ජීවීන් කියන්නේ අපි අවට පරිසරයේ දක්නට ලැබෙන සජීවී පදාර්ථ . එතකොට පදාර්ථයක් කියන්නේ මොකක්ද ? ඔව් පදාර්ථයක් කියන්නේ අවකාශයේ යම් ඉඩක් ගන්නා ද්‍රව්‍ය . පදාර්ථ වල මූලික තැනුම් ඒකකය තමයි මූලද්‍රව්‍ය . ඉතින් ජීවීන් වන අපිත් අප අවට වටපිටාවේ සජීවී පදාර්ථයන් සියල්ලත් හැදිලා තියෙන්නේ මූලද්‍රව්‍ය වලින්.
ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍ය කීයද ? ( ඒකනම් ගනන් කරලා බලන්න ඕනි ඔයාලා.) ඒ මූලද්‍රව්‍ය අතරින් ස්වභාවිකවම පවතින්නේ මූලද්‍රව්‍ය 92 ක් පමණ සංඛ්‍යාවක් . නමුත් ඔබ දන්නවාද ජීවී දේහ වල අඩංගු වෙන්නේ ඉනුත් මූලද්‍රව්‍ය 25ක් වැනි සංඛ්‍යාවක් පමණයි.
ජීවීන් තුළ පවතින මූලද්‍රව්‍ය අතරින් අනිවාර්යයෙන්ම සෑම ජීවියෙකුගේම දේහයේ අඩංගු වන මූලද්‍රව්‍ය 6ක් තියෙනවා
1.කාබන්
2.හයිඩ්‍රජන්
3.ඔක්සිජන්
4.නයිට්‍රජන්
5.පොස්පරස්
6.සල්ෆර්
මීට අමතරව ජිවී දේහ තුළ කැල්සියම් , මැග්නීසියම් , ක්ලෝරීන් , ෆෙරස් , සෝඩියම් යනාදී මූලද්‍රව්‍යත් අඩංගු වෙනවා.
ජීවී දේහ තුළ බර අනුව ඉහත සදහන් මූලද්‍රව්‍ය අඩංගු වන ප්‍රතිශතයන් පහත වගුවේ දක්වා ඇත
මූලද්‍රව්‍ය බර අනුව ප්‍රතිශතය
ඔක්සිජන් 65%
කාබන් 18%
හයිඩ්‍රජන් 10%
නයිට්‍රජන් 3%
කැල්සියම් 2%
සජීවී පදාර්ථයන් කාබන් පදනම් කරගනිමින් කොටස් දෙකකට වර්ග කරනු ලැබේ.
1. කාබනික සංයෝග - කාබන් අඩංගු සංයෝග
2. අකාබනික සංයෝග - කාබන් අඩංගු නොවන සංයෝග මෙන්ම කාබන් මූලද්‍රව්‍යක් ලෙස අඩංගු වුවත් කාබන් වල ගති ලක්ෂණ පෙන්නුම් නොකරන සංයෝගත් අකාබනික සංයෝග ලෙසටම සැලකේ.
උදා:- කාබන්ඩයොක්සයිඩ් , කාබන්මොනොක්සයිඩ්, කාබනේට හා බයිකාබනේට
සජීව පදාර්ථයේ අඩංගූ කාබනික සංයෝග,
1.කාබෝහයිඩ්‍රේට
2.ප්‍රෝටීන්
3. ලිපිඩ
4. නියුක්ලෙයික් අම්ල( න්‍යෂ්ටික අම්ල) මේවා ජීවී දේහ තුළ ඇති ප්‍රදාන කාබනික ද්‍රව්‍ය කාණ්ඩ 4 වන අතර මීට අමතරව විටමින් , යනාදිය ද ඇත.
ජීවී දේහ තුළ අඩංගු අකාබනික සංයෝග ලෙස ජලය ඛනිජ ලවණ යනාදිය හැදින්විය හැක.
ගැටලු,
1. ජීවී දේහ තුළ අඩංගු ස්වභාවික මූලද්‍රව්‍ය සංඛ්‍යාව ?
2. සෑම ජීවියෙකුගේම දේහයේ අඩංගු වන මූලද්‍රව්‍ය 6 මොනවාද?
3. කාබන් පදනම් කරගනිමින් රසායනික සංයෝග බෙදිය හැකි කොටස් දෙක මොනවාද? එම සංයෝග වලට උදාහරණ දක්වන්න.
by Lakshani Lankadhikara
Photo source : Internet
2822 Views
Comments