6 ශ්‍රේණිය පුරවැසි අධ්‍යාපනය - 12
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
21

6 ශ්‍රේණිය පුරවැසි අධ්‍යාපනය - 12

6 ශ්‍රේණිය පුරවැසි අධ්‍යාපනය - 12

දූලා පුතාලට මේ ඉදිරිපත් කිරීමට සූදානම් වන්නේ ඔයාලගේ පුරවැසි අධ්‍යාපනය විෂය යටතේ එන වැදගත් පාඩමක්. මෙහිදී පරිසරය සුරැකීම පිළිබඳව පුංචි ඔයාලට අවශ්‍ය කරන දැනුම ලබාදීමට අපේක්ෂා කෙරේ. බලන්න එය කෙතරම් වැදගත් මෙන්ම කාලීන අධ්‍යයනයක්ද කියලා.

අප අවට ඇති වටපිටාව අපේ පරිසරයයි. වායුගෝලය මුහුදු දියඇලි ගංගා වන සතුන් සහ ස්වාභාවිකව වැවුණු ගස් වැල් ස්වභාවික පරිසරයට අයත් වන දේවල් වේ. මේවා ස්වභාවධර්මයෙන් අප ලද දායාදයන්. එමෙන්ම මේවා මිනිසාගේ බලපෑමකින් මැදිහත්වීමකින් තොරව නිර්මාණය වූ ඒවා වේ. මිනිසාගේ බලපෑමකින් තොරව ස්වභාවිකව නිර්මාණය වූ පරිසරය භෞතික පරිසරය යි. මිනිසාද පරිසරයේම කොටසක්. අවට පරිසරයේ මිනිසා ගොඩනැඟූ විවිධ දේවල් ඔබට දැකගත හැකියි. උද්‍යාන ගොඩනැඟිලි මංමාවත් පොකුණු වැව් ආදිය ඊට නිදසුන් වේ. ඒවා නිර්මිත පරිසරය ලෙස හැඳින්විය හැකියි. මිනිසා ස්වභාවික පරිසරයෙහි නිර්මාණය කළ දෑ නිර්මිත පරිසරයට අයත් වේ.

අපේ අවශ්‍යතා ඉටු කරගැනීම සඳහා අපි පරිසරය සහ එහි ඇති සම්පත් ප්‍රයෝජනයට ගනිමු. ජන සංඛ්‍යාව වැඩි වීමත් අවශ්‍යතා වැඩිවීමත් නිසා පරිසරයට අපෙන් වන බලපෑම් ක්‍රමයෙන් වැඩි වී ඇත. මේ නිසා ජලය ගොඩබිම සහ වායු ගෝලය යන පරිසර අංග වලට බෙහෙවින් හානි පැමිණෙන අවස්ථා ද ඇති වී තිබේ. මෙම පරිසර අංග දූෂණය වීමට කරුණු ගණනාවක් බලපායි. අපද්‍රව්‍ය ජලයට බැහැර කිරීම, වගා කටයුතු සඳහා අධික ලෙස රසායනික පොහොර භාවිතය, කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතය යනාදී මගින් ජලය දූෂණය වේ. අපද්‍රව්‍ය අනිසි ලෙස බැහැර කිරීම, වගා කටයුතු සඳහා රසායනික පොහොර භාවිතය, කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතය සහ වනාන්තර විනාශ කිරීම මගින් ගොඩබිම දූෂණය විය හැකියි. කර්මාන්ත ශාලාවලින් පිටවන දුම් සහ රථ වාහන වලින් පිටවන දුම් මගින් වායු ගෝලය දූෂණය විය හැකි අතර ශබ්ද විකාශන යන්ත්‍ර වලින් නිකුත් කෙරෙන අධික ශබ්ද සහ රථ වාහන නළා ශබ්ද මගින් ශබ්ද දූෂණය නිරන්තරයෙන්ම සිදුවේ.

 

 

 


පරිසරයට සිදුවන හානි පිලිබඳ ඔබ නොයෙක් විට අසා ඇති. මිනිසා පරිසරයට කරන හානි නිසා පානය සඳහා පිරිසුදු ජලය සපයා ගැනීම පවා වර්තමානයේ දී ගැටලුවක් වී තිබේ. දූෂිත ජලය භාවිතය නිසා නොයෙකුත් ලෙඩ රෝගද ඇතිවේ. එමෙන්ම ජලය දූෂණය වීම නිසා මත්ස්‍ය සම්පත ඇතුළු ජලජ ජීවීන් ද විනාශ වෙති. වායුගෝලය දූෂණය වීම නිසා නොයෙකුත් ලෙඩ රෝග ඇතිවීම, වායු ගෝලයේ උෂ්ණත්වය ඉහළ යාම, ඕසෝන් ස්තරයට හානි වීම ආදී භයානක ප්‍රතිඵල වලටද මුහුණදීමට මිනිසාට සිදු වී තිබේ. පරිසරයේ කොටස්කරුවන් වශයෙන් පරිසර සංරක්ෂණයට උරදීම අප සැමගේ යුතුකමක් සහ වගකීමක්. එසේ කිරීමෙන් සුන්දර පරිසරයක ජීවත්වීමට අප සියලු දෙනාට ඇති ප්‍රාර්ථනාව සඵල කරගත හැකියි.

 

 

by Sachini Sooriyaarachchi

Photo Source: Internet

 
views

1697 Views

Comments

arrow-up